Local news (Sinhala)

එක්නැලිගොඩ, ලසන්ත, තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ යළි අරඹයි.. තරාතිරම නොබලා දැඩි දඬුවම්.!

එක්නැලිගොඩ, ලසන්ත, තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ යළි අරඹයි.. තරාතිරම නොබලා දැඩි දඬුවම්.!

රටේ මහත් ආන්දෝලනයට තුඩුදුන් අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් මූලස්ථානයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් දේශපාලන බලපෑම් මත යට ගැසූ එම අපරාධ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සියලුම දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇත.

තවද මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන සිද්ධීන්, එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධව නතර වී තිබෙන විමර්ශන නැවත ආරම්භ කිරීමට උපදෙස් ලබාදී ඇත.

අල ළූණු බදු වැඩිකරයි.!

අල ළූණු බදු වැඩිකරයි.!

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගත් බවයි.

එමෙන්ම ලොකු ළූණු කිලෝවක් සඳහාවන ආනයනික බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද පියවර ගෙන ඇත.

එම බදු සංශෝධනය අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වාද රුපියල් රුපියල් 10ක්ව පැවති ආනයනික ලොකු ලූණු බද්ද රුපියල් 30 දක්වාද ඉහළ නැංවෙනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය අක්‍රීය කරයි.!

එක්සත් ජනතා නිදහස් සන්ධානය අක්‍රීය කරයි.!

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොදී අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

පක්ෂයේ ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

මේ අතර ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණට ද මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත.

දරුවන් 11ක් අනාථයන් කළ පොලු පහර.!

දරුවන් 11ක් අනාථයන් කළ පොලු පහර.!

රක්වාන පොලිසිය පවසන්නේ රක්වාන රංවලතැන්න වත්තේ පදිංචිව සිටි සෙල්ලපන් බාලක්‍රිෂන් නැමැති අවුරුදු 3ත් 15ත් අතර වයසේ දරුවන් එකොලොස් දෙනකුගේ පියෙක් සිය බිරියගේ සහෝදරයකු එල්ල කළ පොලු පහරකින් මරණයට පත්වී ඇති බවයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක් වේ. ඔහුට බිරින්දෑවරු දෙදෙනකු සිට ඇති අතර එක් බිරිඳකට දරුවන් 7 දෙනකු සහ අනියම් බිරිඳට දරුවන් 4 දෙනකුද සිටින බව වාර්තා වෙයි.

දැඩි ලෙස බීමතට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන මරණකරු තම නිත්‍යානුකූල බිරිද සමග ගැටුමක් ඇති කර ගෙන ඇති අතර ඊට මැදි වූ බිරියගේ සහෝදරයකුට ද තියුණු ආයුදයකින් පහරදිමට උත්සහ දරා ඇති බව පැවසේ.

එහිදී සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් බිරිඳගේ සහෝදරයා ඒ අසල තිබූ පොල්ලක් ගෙන මරණකරුගේ හිසට පහර දී ඇත.

පහර කෑ පුද්ගලයා පැය එකහමාරකට පමණ පසු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එක්ව රක්වාන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා කහවත්ත රෝහලටත් පසුව රත්නපුර මහ රෝහලට මාරුකර යවා ඇත.

අනතුරුව රත්නපුර රෝහලේ දින දහයක් පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (04) දින ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී.!

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන මහ මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

රට තුළ ඇති වී තිබෙන දේශපාලන අවාසිදායක තත්ත්වයත්, සෞඛ්‍ය තත්ත්වය, සිය වයස පිළිබඳවත් සලකමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි කාලය විශ්‍රාම සුවයෙන් ගත කිරීම සදහා දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

හිටපු ජනපති ඇතුළු ප්‍රබල අමාත්‍යවරුන් රැසක් දේශපාලනයෙන් සමුගනී.!

හිටපු ජනපති ඇතුළු ප්‍රබල අමාත්‍යවරුන් රැසක් දේශපාලනයෙන් සමුගනී.!

පාර්ලිමේන්තුවේ සිටි ප්‍රබල මන්ත්‍රීවරුන් රැසක් පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරඟ නොකර දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය අලි සබ්රි, හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, තිස්ස විතාරණ, ජෝන් සෙනෙවිරත්න මහ මැතිවරණයට තරඟ නොකර සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අපරාධ ගැන හොයන්නත් කලින් ලොක්කෝ කලබල වෙයි.. ලේඛන විනාශ කර රටින් පනින්න සැරසෙයි.!

අපරාධ ගැන හොයන්නත් කලින් ලොක්කෝ කලබල වෙයි.. ලේඛන විනාශ කර රටින් පනින්න සැරසෙයි.!

කොළඹ අපරාධ කොට්ටාසයේ සේවය කළ නිලධාරින් පිරිසක් මේ වනවිට රට හැරයෑමට සූදානම්‍ වන බව වාර්තා වේ.

සංවිධානාත්මකව කර ඇති විවිධ අපරාධ සහ විවිධ පාර්ශවල කොන්ත්‍රාත් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට වැඩ පොලිස්පතිවරයා කටයුතු සැලසුම් කිරීමත් සමග එම නිලධාරින් රට හැරයෑමට සූදානම්‍ වන බව වාර්තා වේ.

අපරාධ කොට්ඨාසය නව අධ්‍යක්ෂවරයෙක් යටතට පත්කර එළඹෙන සතිය තුළම විවිධ අපරාධ සහ විවිධ පාර්ශවල කොන්ත්‍රාත් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා සැලසුම් කර ඇත.

එළඹෙන සතියේ විමර්ශන ආරම්භ කිරීමට සූදානම් හෙයින් එම නිලධාරීන් මේ වනවිට දැඩි ලෙස නොසන්සුන් වී ඇති බවත් ඇතැම් විමර්ශන පිළිබඳ ඉතාම සංවේදී ලේඛන විනාශ කිරීමට උත්සාහ කරන බවද වාර්තා වේ.

මගේ පාර්ලිමේන්තු ගමන වලක්වන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.!

මගේ පාර්ලිමේන්තු ගමන වලක්වන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී තමාව පාර්ලිමේන්තුවට යෑම වැළැක්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේග හිටපු මන්ත්‍රී හර්ෂද සිල්වා සදහන් කරයි.

තමන්ව කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජයට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් මේ වනවිට තමාට හතර වටෙන්ම පහර දෙමින් සිටින බවද හිටපු මන්ත්‍රී හර්ෂද සිල්වා සදහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අවසානයේදී හිටපු මන්ත්‍රී හර්ෂද සිල්වා මේ බව සදහන් කරයි.

ජොන්ස්ටන්ගේ සෙල්ලම අවසන්.. ගිනි අවි රැසක් මාට්ටු.!

ජොන්ස්ටන්ගේ සෙල්ලම අවසන්.. ගිනි අවි රැසක් මාට්ටු.!

තනතුර අතහැර පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ගිනි අවි 8ක් ලබාදී ඇත.

ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල තුනක් සහ බෝර රිපීටර් පහක් ඇතුළුව ගිනි අවි 8ක් පසුගිය රජයෙන් ලබාගෙන ඇත.

පසුගිය රජය රට පුරා පුද්ගලයින් 1,500කට ගිනි අවි 1,690ක් නිකුත් කළ අතර එම සියලුම පුද්ගලයින්ට නොවැම්බර් (07) වනදා වනවිට සියලු ආයුධ ආපසු ලබාදෙන ලෙස දන්වා ඇත.

එම ගිනි අවි නැවතත් ලබානොදීමට කටයුතු කරන සියලුම පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.

වතුර බෝතලයටත් පාලන මිලක්.?

වතුර බෝතලයටත් පාලන මිලක්.?

මේ වනවිට වෙළඳපොලේ රුපියල් 100කට අලෙවි කරන 500ml ජල බෝතලයක් රුපියල් 70කට ලබාදිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.

රට පුරා සිටින ජාවාරම්කරුවන් හේතුවෙන් ජල බෝතල් විවිධ මිල ගණන් වලට අලෙවි වන බවද මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.

එනිසා වහාම පානීය ජල බෝතල් සදහා පාලන මිලක් පැනවිය යුතු බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර සදහන් කරයි.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර මේ බව සදහන් කරයි.