Local news (Sinhala)

නව පාප් වහන්සේ තෝරා පත් කරගනී.!

නව පාප් වහන්සේ තෝරා පත් කරගනී.!

නව පාප් වහන්සේ තෝරා පත් කරගත් බව අඟවමින් වතිකානායේ සිස්ටයින් දේවස්ථාන කවුළුවෙන් මීට සුළු මොහොතකට පෙර සුදු දුමාරයක් නිකුත් කළේය.

ඒ නව පාප් වහන්සේ තෝරා පත් කරගැනිම සඳහා පැවැත්වු ඡන්ද විමසීම දෙක අවසානයේදී වන අතර ඡන්ද විමසීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති බව එම දුමාරයෙන් සංකේතවත් වේ.

කෙසේ නමුත් නව පාප් වහන්සේ කවරෙක්ද යන්න තවමත් අනාවරණ වී නොමැති අතර, උන් වහන්සේ තවත් නුදුරු මොහොතකින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලය වෙත පැමිණ බැතිමතුන් හමුවේ පෙනී සිටිනු ඇත.

කොට්ටාවේ වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට.!

කොට්ටාවේ වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට.!

අද (08) දින රාත්‍රියේ කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර ඇත.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

කොට්ටාවේ වෙඩිතැබීමක්.!

කොට්ටාවේ වෙඩිතැබීමක්.!

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවය.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. 

මාලිමාවේ පසුබෑමට කරුණු 5යි.. ලබන වසරේ නැවතත් 3%යි.!

මාලිමාවේ පසුබෑමට කරුණු 5යි.. ලබන වසරේ නැවතත් 3%යි.!

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක් බවත් මාලිමාවේ ඡන්ද පදනම තව අවුරුද්දකින් පරණ පුරුදු 3% දක්වා පහත වැටෙන බවත් පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.

මාලිමාවේ පසුබෑමට හේතු වූ කරුණු පහක් පිළිබඳවද එහිදී හිටපු මන්ත්‍රීවරයා සවිස්තරාත්මක විග්‍රහයක් කළ අතර එම කරුණු 5 පහත පරිදිය.

(1) ජනතාවගේ අභිමානයට කැලලක් වන අයුරින් බොරු කීම

(2) පාතාලය හිස එසවීමෙන් ඇති වුණු අනාරක්ෂිත බව

(3) ඉන්දියානු ගිවිසුම් පිළිබඳ ඇති වුණු සැකය

(4) දළදා වහන්සේ දේශපාලනිකරණය

(5) ආදරය දිගුකාලිනයි. කේන්තිය කෙටිකාලිනයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල.

“කළු ගලේ ඔළුව ගහ ගන්න එපා ඔළුව චප්ප වේවි කියා හැමෝම අපිට අවවාද කරන විට අපි හිතුවක්කාර විධියට අවදානම නොතකා මාස අටක් නොකඩවා කළු ගලේ ඔළුව ගැහුව්වා. මෙන්න ඔළුව චප්ප වෙනවා වෙනුවට කළු ගල පුපුරා හැලෙන්න දැන් පටන් අරන් තියෙනවා. මේ පුංචි ඡන්දය ප්‍රතිඵලය පැහැදිලි කළ හැකි සරලම විධිය එයයි.

ආණ්ඩුව වැඩ වරද්දා ගත්තේ තමන් කළ පළමු පත්වීම වුණු ජනාධිපති ලේකම් පත්වීමෙන්. ඒත් එක්කම කළ තුන්වන පත්වීම වුණු මහජන ආරක්ෂක ලේකම් පත්වීමෙන්. ආණ්ඩුව පත් වෙලා සතියක් ගත වෙන්න කලින් අපි මේ පත්වීම් විවේචනය කලා. සමහරු අපට කිව්වේ ආණ්ඩුව කුණු වෙන තුරු ටික කලක් නිහඬව ඉන්න කියලා. නමුත් අපි තීරණය කලේ ආණ්ඩුවත් සමග රටත් කුණු වෙන්න දෙන්න බෑ. අපි ආණ්ඩුව වැරැද්දක් කළ වහාම ඒක පෙන්වා දෙනවා. ආණ්ඩුව නිහතමානි නම් වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යාවි. ආණ්ඩුව උද්ධච්ඡ නම් වැරැද්ද රැක ගෙන තමන් විනාශ වේවි. ඒක ආණ්ඩුවේ තීරණයක්. විපක්ෂයේ වගකීම තමයි වැරදි පෙන්වා දෙන එක. අපි ඒක ඉටු කලා

පසුගිය දෙසැම්බර් මාසයේ සිට අපි අඛණ්ඩව කියූ දෙයක් තමයි පුංචි ඡන්දයේ දී පළාත්පාලන ආයතන විශාල ගණනාවක බහුතර බලය කාටවත් ලැබෙන්නේ නෑ. ඒ ප්‍රතිඵලය විසින් විපක්ෂයට සමගි වෙන්න බල කරනවා කියලා. අද ඒ අනාවැකිය සැබෑ වෙලා පලාත්පාලන ආයතන 339න් 170ක කාටවත්ම බහුතරය ලැබිලා නෑ. ඒ වගේම අපි කිව්වා මාලිමාවේ ඡන්ද ප්‍රතිශතය බරපතල ලෙස පහත වැටෙනවා. බොහෝ දුරට ජනපතිවරණයේ මට්ටමට ඒවි කියලා. ඒ අනාවැකියත් සැබෑ වෙලා. ජනපතිවරණයේ දී 42%ක් ගත්තු මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී 63%ක් දක්වා ඉහළ ගොස් මේ මැතිවරණයේ දී 43% ක් දක්වා පල්ලම් බැහැලා තිබෙනවා.

අපේ තුන්වන අනාවැකිය තමයි මාලිමාව ගැන ජනතාව කලකිරුණත් වෙනත් කිසිම පක්ෂයකට ජන ආකර්ෂණය ලැබිලාත් නෑ. ඒ නිසා මාලිමාව අත් හැරපු ජනතාව බහුතරයක් ගෙදර නතර වෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම බරපතල ලෙස පහත වැටෙනවා. ඒ අනාවැකියත් සැබෑ වුණා.

මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලක්ෂ 68.65ක් නැති නම් ලක්ෂ 69ක් ලබා ගත්තා. දැන් ඒක පුංචි ඡන්දයේ දී ලක්ෂ 45 දක්වා ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ කියන්නේ මාස හයක් ගත වෙන්නත් කලින් ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩු වෙනවා. මාලිමාවේ මේ පසුබෑම ලෝක ඉතිහාසයේ වාර්තා වන දැවැන්තම දේශපාලන පසුබෑමයි. මීට කලින් කිසිම රටක කිසිම කලක මාස හයක් ඇතුලත තම ඡන්ද පදනම 1/3කින් නැතිනම් 34%කින් කඩා වැටීමක් වාර්තා වෙන්නේ නෑ. අපි වැරදි නම් මාලිමා නායකයින් “නෑ. අහවල් රටේ අහවල් පක්ෂයේ ඡන්ද පදනම මාස හයක් ඇතුලත මීටත් වඩා කඩා වැටුණා” කියලා අපට කියන්න. අපි නිවැරදි වෙන්නම්.

මාස හයකට ඡන්ද ලක්ෂ 24ක් අඩු වෙනවා කියන්නේ තව මාස හයකින් ඡන්ද පදනම ලක්ෂ 21 වෙනවා කියන එකයි. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3% දක්වා පහත වැටෙනවා කියන එකයි. ඒ නිසා මේ ආණ්ඩුව නිසි දේශපාලන අවබෝධයෙන් කටයුතු කරනවා නම් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. එවිට අඩුම ගණනේ පලාත් සභා දෙක තුනක්වත් දිනා ගන්න හැකි වේවි. එහෙම නැති වුනෝත් මාලිමාවට ඉතිහාස‍යේ කාවදාවත් පළාත් සභාවක බලය ලබා ගන්න නම් අවස්ථාවක් උදා වෙන්නේ නෑ.”

ජනපති අනුරට ඡන්දෙ දාන්න එන්න ප්‍රයිවට් ජෙට් එකක් ලෑස්ති කරලා.!

ජනපති අනුරට ඡන්දෙ දාන්න එන්න ප්‍රයිවට් ජෙට් එකක් ලෑස්ති කරලා.!

අද (8) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක බිමල් රත්නායක මහතා පවසා සිටියේ ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් වියට්නාමය වෙත ආරාධනා ලද ජනපති අනුර කුමාර දිසානායක මහතාට මැයි මස 6 වනදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නැවත මෙරටට පැමිණීමට පුද්ගලික ජෙට් යානයක් ලබාදුන්නේ වියට්නාම් රජය විසින් බවයි.

එම සාකච්ඡාවල මුල් අදියරේදී වියට්නාම තානාපතිවරිය සමඟ සාකච්ඡා කළේ තමා බවත් එහිදී ජනපතිවරයාට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණිය යුතු බවට තමා කළ දැනුම්දීම අනුව එම පහසුකම් සැලසීමට එරට රජය එකඟවූ බවත් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම වියට්නාමයෙන් ජනපති අනුර දිසානායක මහතා වෙත ලැබුනු රාජතාන්ත්‍රික පිළිගැනීම සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියාසිටියේ වියට්නාම ජනපතිවරයා එම දින කිහිපය පුරාවටම ජනපති අනුර දිසානායක සමඟ රැඳී සිටිමින් ඉතා මිත්‍රශීලීව කටයුතු කළ බවයි.

හිරේ ඉඳන් පාර්ලිමේන්තු ආ චාමර වටේටම වෙඩි තියයි.!

හිරේ ඉඳන් පාර්ලිමේන්තු ආ චාමර වටේටම වෙඩි තියයි.!

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා පැවසූවේ තමා සිරගෙදර සිටියද මෙවර පළාත් පාලන මැතිවරණයේ පුටුව ලකුණින් තරග කළ පොදුජන එක්සත් පෙරමුණට ලැබුණු ඡන්ද අතරින් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 45,000 ක් ලැබුණේ තමාගේ දිස්ත්‍රික්කයෙන් බවයි.

තමාව සිරගෙට දැමීමට කටයුතු කළේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදී දින දෙකක් තුළ බව පැවසු චාමර මහතා, තමා එළියේ සිටියා නම් ඡන්ද 70,000 ක් ලබා ගැනීමට කටයුතු කරන බවද අවධාරනය කළේය.

සිදුව ඇති පසුබෑම ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් ආණ්ඩුවේ පසුබෑම ජනතාව විසින් ඔප්පු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

තමා සිරගෙදර සිටියද, පුටුවට ඡන්දය ලබාදුන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූතිවන්ත වන බවත්, හිර ගෙවල් 50ක දැමුවත් තමාගේ ගමන නැවැත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සිය කතාව අවසන් කරමින් සඳහන් කළේය.

විභාග කොමසාරිස් ජනරාල් අලුත් වෙයි.!

විභාග කොමසාරිස් ජනරාල් අලුත් වෙයි.!

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඇය, දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක්.

විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරන ලද එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 වන දිනෙන් අවසන් වී තිබෙනවා.

ඒ අනුව පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය්වරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවුණා.

දේශබන්දුගේ සෙල්ලම් අවසන්.. පළමු වතාවට කැඳවයි.!

දේශබන්දුගේ සෙල්ලම් අවසන්.. පළමු වතාවට කැඳවයි.!

දේශබන්දු තෙන්නකෝන් සිය පොලිස්පති ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් ඔහුට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස (19) වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති අතර ඔහුට මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දෙන පළමු අවස්ථාව මෙය වේ.

මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තුවෙන් ඉවතට.!

මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තුවෙන් ඉවතට.!

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුන විසින් මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය.

ඒ අද (8) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් අඛණ්ඩව පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන්.

මුලසුනේ නියෝග කඩකරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කිරීම මත මත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනා ලෙස මුලසුනේ කටයුතු කළ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා වෙත නියෝග කළේය.

රනිල් කෝටි 100ක් වියදම් කර රට සවාරි ගිහින්.. නලින්ද හෙළිකරයි.!

රනිල් කෝටි 100ක් වියදම් කර රට සවාරි ගිහින්.. නලින්ද හෙළිකරයි.!

පසුගිය 2022 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සංචාර 23කට සහභාගි වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 2022 වසරේ විදේශ සංචාර 4කට, 2023 වසරේ විදේශ සංචාර 14කට, 2024 වසරේ විදේශ සංචාර 5කට සහභාගි වී ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර සහ ඔහු වෙනුවෙන් නියෝජිතයන් සහභාගි වූ විදේශ සංචාර සඳහා වැයවූ මුදල ‌කෝටි 102 කට වැඩි බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.