Local news (Sinhala)

හිරේ ඉඳන් පාර්ලිමේන්තු ආ චාමර වටේටම වෙඩි තියයි.!

හිරේ ඉඳන් පාර්ලිමේන්තු ආ චාමර වටේටම වෙඩි තියයි.!

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා පැවසූවේ තමා සිරගෙදර සිටියද මෙවර පළාත් පාලන මැතිවරණයේ පුටුව ලකුණින් තරග කළ පොදුජන එක්සත් පෙරමුණට ලැබුණු ඡන්ද අතරින් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 45,000 ක් ලැබුණේ තමාගේ දිස්ත්‍රික්කයෙන් බවයි.

තමාව සිරගෙට දැමීමට කටයුතු කළේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදී දින දෙකක් තුළ බව පැවසු චාමර මහතා, තමා එළියේ සිටියා නම් ඡන්ද 70,000 ක් ලබා ගැනීමට කටයුතු කරන බවද අවධාරනය කළේය.

සිදුව ඇති පසුබෑම ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් ආණ්ඩුවේ පසුබෑම ජනතාව විසින් ඔප්පු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

තමා සිරගෙදර සිටියද, පුටුවට ඡන්දය ලබාදුන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූතිවන්ත වන බවත්, හිර ගෙවල් 50ක දැමුවත් තමාගේ ගමන නැවැත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සිය කතාව අවසන් කරමින් සඳහන් කළේය.

විභාග කොමසාරිස් ජනරාල් අලුත් වෙයි.!

විභාග කොමසාරිස් ජනරාල් අලුත් වෙයි.!

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඇය, දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක්.

විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරන ලද එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 වන දිනෙන් අවසන් වී තිබෙනවා.

ඒ අනුව පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය්වරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවුණා.

දේශබන්දුගේ සෙල්ලම් අවසන්.. පළමු වතාවට කැඳවයි.!

දේශබන්දුගේ සෙල්ලම් අවසන්.. පළමු වතාවට කැඳවයි.!

දේශබන්දු තෙන්නකෝන් සිය පොලිස්පති ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් ඔහුට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස (19) වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති අතර ඔහුට මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දෙන පළමු අවස්ථාව මෙය වේ.

මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තුවෙන් ඉවතට.!

මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තුවෙන් ඉවතට.!

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුන විසින් මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය.

ඒ අද (8) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් අඛණ්ඩව පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන්.

මුලසුනේ නියෝග කඩකරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කිරීම මත මත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනා ලෙස මුලසුනේ කටයුතු කළ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා වෙත නියෝග කළේය.

රනිල් කෝටි 100ක් වියදම් කර රට සවාරි ගිහින්.. නලින්ද හෙළිකරයි.!

රනිල් කෝටි 100ක් වියදම් කර රට සවාරි ගිහින්.. නලින්ද හෙළිකරයි.!

පසුගිය 2022 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සංචාර 23කට සහභාගි වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 2022 වසරේ විදේශ සංචාර 4කට, 2023 වසරේ විදේශ සංචාර 14කට, 2024 වසරේ විදේශ සංචාර 5කට සහභාගි වී ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර සහ ඔහු වෙනුවෙන් නියෝජිතයන් සහභාගි වූ විදේශ සංචාර සඳහා වැයවූ මුදල ‌කෝටි 102 කට වැඩි බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් අත්හිටුවයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් අත්හිටුවයි.!

ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

ඉන්දියාව – පකිස්තාන යුද ගැටුම් සමඟ අද (08) දින පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කොළඹ පුරපතිනිය වීමට නියමිත බල්තසාර්ගේ පැරණි වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය කළඹයි.!

කොළඹ පුරපතිනිය වීමට නියමිත බල්තසාර්ගේ පැරණි වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය කළඹයි.!

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවට තරඟ වැද ජයග්‍රහණය කළ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය හිටපු නිරූපිකාවක් බව බොහෝ දෙනා නොදනී.

2012 වසරේ නිකුත් වූ ගායන ශිල්පී කසුන් කල්හාර විසින් ගායනා කරන “මත් මල් සේනා පාවේ පාවේ… දෑසේ දෑවටේ මා…” ගීතයේ නිල වීඩියෝ පටයේ නිරූපිකාවක ලෙස පෙනී සිටින්නේ එවකට සුරූපී නිරූපිකාවක් වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මියයි.

එම ගීතය පහතින්.

අත්අඩංගුවට ගත් කෙහෙළියගේ සාක්කුවේ ගජමුතු සහ පූජනීය භාණ්ඩ.!

අත්අඩංගුවට ගත් කෙහෙළියගේ සාක්කුවේ ගජමුතු සහ පූජනීය භාණ්ඩ.!

ඊයේ (7) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ ජනමාධ්‍ය පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන් හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ නොයොදා ඔවුන්ට වැටුප් සහ දීමනා ගෙවූ බවට හඟවා රජයට රුපියල් ලක්ෂ 800 කට අධික පාඩුවක් සිදු කළ බවට වන චෝදනාවක් මතයි.

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයා වැලිකඩ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේදී ඔහු සතුව තිබී ගජමුතුවක් සහ ශ්‍රී මහා බෝධියේ බව කියන දැවමය කොටසක් බන්ධනාගාර බුද්ධි නිලධාර්න් විසින් ඊයේ (07) රාත්‍රීයේ සොයාගෙන ඇතැයි වාර්තා වේ.

එම පූජනීය වස්තූන් බන්ධනාගාර බුද්ධි නිලධාරීන් භාරයට ගැනීමත් සමගම අමාත්‍යවරයා කළහකාරි ලෙස හැසිරි ඔහුගේ ආරක්ෂාව සඳහා එය සන්තකයේ තබාගත් බව පවසමින් එය නැවත ඔහු වෙත ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

හිටපු අමාත්‍යවරයාව බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ප්‍රධාන දොරටුව අබියසදී බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් ඔහු පරික්ෂා කිරීමේදී අතෙහි සඟවා ගෙන සිටි ලේන්සුවක් තුළ ඉතා සූක්ෂම ලෙස ඔතා තිබූ ගජමුතුව සහ ශ්‍රී මහා බෝධියේ පොත්තක් බව කියන දැවමය කොටස හමු වී තිබේ.

වීදුරු බෝලයකට හා සමාන එම ගජමුතුව ජංගම දුරකථනයේ විදුලි පන්දම දැල්වීමේදී රක්ත වර්ණයෙන් බබලන බවද ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

එයින් මද වේලාවකට පමණ පසු වර්තමාන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ නමක් ද සඳහන් කරමින් බුද්ධි ප්‍රධානියකුගේ අවසර මත යැයි පවසමින් හිටපු අමාත්‍යවරයාව හමුවීම සඳහා රාත්‍රී අටට පමණ ඔහුගේ මිණිබිරියක පැමිණ ඇති අතර බන්ධනාගාර නියාමකවරුන් එයට අවසර ලබාදී නැති බව තවදුරටත් සඳහන් වනවා.

Source – Lankadeepa

බහුතරය අහිමි සභා සියල්ලම අණ්ඩුවටම ලබාදීමේ තීරණයක්.!

බහුතරය අහිමි සභා සියල්ලම අණ්ඩුවටම ලබාදීමේ තීරණයක්.!

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමට පැහැදිලි බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල පාලන බලය ජාතික ජනබලවේගයටම පවත්වාගෙන යෑම සඳහා ලබා දිය යුතු බවට විපක්ෂයේ දේශපාලන නායකයින් පැවැත්වූ සාකච්ඡාවකදී යෝජනා වී ඇති බව වාර්තා වේ.

යම් හෙයකින් විපක්ෂය ඒකාබද්ධ වී බලය පිහිටවහොත් එහිදී ආණ්ඩු පාර්ශවයෙන් විවිධ ආකාරයේ බාධා කිරීම් සිදුවිය හැකි බැවින් පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේ විවිධ අර්බුදයන්ට මුහුන දීමට සිදුවනු ඇති බවට එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව වර්තමාන ජාතික ජන බලවේගයටම බලය පවත්වා ගෙන යාමට අවශ්‍ය සහයෝගය දිය යුතු බවද යෝජනා වී ඇති අතර ඒ හරහා ජාතික ජන බලවේගයට ප‍්‍රාදේශීය සභාවන් පාලනය කරගෙන යාමේ හැකියාවක් ඇද්ද නැද්ද යන්න ජනතාව තේරුම්ගත හැකිවනු ඇති බවද බහුතර පිරිසගේ මතය වූ බව සඳහන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වැඩිදුරටත් පැවසීය.

පාඨලී චම්පිකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව.!

පාඨලී චම්පිකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව.!

නීතිපතිවරයා විසින් තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

පසුගිය 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා පත්‍රය ගොනු කර ඇති අතර එම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කර ඇත.