Local news (Sinhala)

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.!

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.!

ජනාධිපතිවරයා විසින් දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා එම ආඥාව නිකුත් කර ඇත.

සමන්ත දිවුරුම් දෙයි.!

සමන්ත දිවුරුම් දෙයි.!

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ පත් කර ඇත.

ඒ අනුව සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

සමන්ත රණසිංහ පසුගිය 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි එදිනම මුදා හැරලා.!

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි එදිනම මුදා හැරලා.!

ගණේමුල්ල සංජීව නමැති පාතාලකරුගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අධිකරණයේදී චෝදනා ලබා සැඟවී සිටින ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව පසුගිය මැයි 06 දින කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, පරීක්ෂණවලදී ඇත්තේ ඇය ගනේමුල්ල සංජීව ඝාතන සිදිධියට චෝදනා ලත් ඉෂාරා සෙව්වන්දි නොවන බවයි.

ඒ බව තහවුරු වීමෙන් පසු ඇය නිදහස් කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ කුලියාපිටිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි.

වයස අවුරුදු 32ක් වන ඉෂාරා නමැති කාන්තාව ඉඩමක් සම්බන්ධයෙන් පත්ඉරු ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී, කාර්යාලයේ නිලධාරීන් ඇයගේ නම ඉෂාරා සෙව්වන්දි ලෙස සටහන්ව තිබීම හේතුවෙන් සැකයට භාජනය වී ඇත.

නිලධාරීන් ඇයගේ හැඳුනුම්පත ද පරීක්ෂා කර ඇති අතර, ඇය කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ වීම හේතුවෙන් නිලධාරීන්ගේ සැකය තවත් වැඩිවී තිබේ.

ඉන් අනතුරුව නිලධාරීන් පොලිසියට දැනුම් දී ඇති අතර, පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඇය අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර ඇත.

කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය ඇතුළු ආයතන ගණනාවකට තොරතුරු යවා ඇති අතර, ඡායාරූප විවිධ තාක්ෂණික මෘදුකාංග ඔස්සේ විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව, ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ චෝදනා ලත් ඉෂාරා සෙව්වන්දි නොවන බව තහවුරු කරගෙන ඇත.

ඉන්පසු පොලිසිය ඇයගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇය නිදහස් කර ඇත.
විමර්ශනයට භාජනය වූ ඉෂාරා සෙව්වන්දි මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ, තමාගේ නම සහ පෙනුම අපරාධකාරියකගේ නමට සමාන වීම නිසා පොලිසියට කැඳවා විමර්ශනයක් සිදු කළ බවයි.

බහුතරය අහිමිනම් සභාපති පත්වෙන්නේ මෙහෙමයි.!

බහුතරය අහිමිනම් සභාපති පත්වෙන්නේ මෙහෙමයි.!

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසන්නේ එක් දේශපාලන පක්ෂයකට පළාත් පාලන ආයතනයක 50%ට වඩා බලය හිමි නැති අවස්ථාවලදී සභිකයන්ගේ ඡන්දයකින් නගරාධිපති හෝ සභාපතිවරයා තෝරාපත් කරගත හැකි බවයි.

පළාත් පාලන කොමසාරිස්වරයා විසින් කැඳවනු ලබන පළමු රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුවන්නේ යැයි ද එසේ පළාත් පාලන ඡන්දයෙන් 50%ට වඩා බලය හිමි නොවූ ආයතනවලට බහුතර සභිකයන්ගේ කැමැත්තෙන් වුව නගරාධිපති හෝ සභාපති පත්කරගත හැකි බව ඔහු සඳහන් කළේ ය.

පළාත් පාලන ඡන්දයේදී 50%ට වඩා සභිකයන් හිමි කරගත් දේශපාලන පක්ෂවලට අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති හෝ නගරාධිපති ධුරයට කෙනෙකු පත්කිරීමට එම පක්ෂවල ලේකම්වරයාට අයිතිය ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.

බහුතර බලය හිමි නැති අවස්ථාවකදී පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කෙරෙන අදාළ ඡන්ද විමසීමේදී ධුරය සඳහා කීප දෙනෙකු ඉදිරිපත් වුවහොත් හා ඡන්ද සම අවස්ථාවක් උද්ගත වුවහොත් කුසපත් ඇදීමේ ක්‍රමය පවා භාවිත කරන්නේ යැයි අධ්‍යක්ෂකවරයා කීවේය.

ඔහු එම කරුණ මෙසේ පැහැදිලි කළේ ය.

“නිදසුනකට ජාතික ජන බලවේගයට බහුතරය තියෙනවා නම් කිසි අවුලක් නෑ. ජාජබ ලේකම්ගෙන් අහලා සභාපතිගේ නම ගැසට් කරනවා. බහුතරය දිනුවාට මේ මැතිවරණ ක්‍රමය අනුව සභාපති ධූරය තියෙන්නේ වැට උඩ. පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීම පවත්වන්නේ පළාත් පාලන කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන්.

ඔහුගේ බලය අභිනියෝජනය කරන්න බෑ. එනිසා ඔහු ඊට සහභාගී විය යුතුමයි. එතැනදී සභාපති සඳහා නාමයෝජනා දෙනවා. යෝජනා ස්ථිර කරනවා. එක්කෙනෙක් නම් පැහැදිලියි. දෙන්නෙක් ඉල්ලලා ඡන්ද සම වුණොත් කුසපත් අදිනවා. ඊට පස්සේ 3ක් ඉල්ලනවා කියල හිතමු. එක්කෙනෙක්ට ඡන්ද 10ක් තව කෙනෙක්ට ඡන්ද 5ක් හා තව කෙනෙක්ට 5ක්. එතැනදි 10 ගත්ත කෙනා පැත්තකින් තියලා පහ පහ ගත්ත අය අතරේ කුසපත් අදිනවා.

එයින් තේරෙන කෙනා හා 10 ගත්ත කෙනා අතර නැවත වරක් ඡන්දයක් විමසනවා. එතැනදිත් සමාන වුණොත් කුසපත් අදිනවා. හැම වෙලේ ම කෙනෙක් හලමින් ඉදිරියට ගිහින් තමයි බහුතරය ගත්ත කෙනා හොයන්නේ. මේ ඡන්ද ප්‍රතිඵලයේ ප්‍රක්ෂේපණය අනුව පළාත් පාලන කොමසාරිස්වරු වඩාත් කාර්යබහුල වෙන්නත් ඉඩ තියෙනවා. පළමු රැස්වීමේදී කරන්නේ සභාපති හා උප සභාපති තෝරන එක විතරයි.”

ඡන්දයෙන් තේරී පත්වු සභික නාම ලේඛනය ගැන විශේෂ දැනුම්දීමක්.!

ඡන්දයෙන් තේරී පත්වු සභික නාම ලේඛනය ගැන විශේෂ දැනුම්දීමක්.!

2025 පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වූ සභික නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය, කාන්තා නියෝජනය පිළිබඳව තීන්දු කිරීමෙන් පසු නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි.

එම පක්ෂ වලින් තෝරා ගතයුතු කාන්තා සභික සංඛ්‍යාව තීන්දු කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ වී ඇති බවත් පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය 25% ක් විය යුතු බවද සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි.

ජයග්‍රහණය කළ පක්ෂවල ඡන්ද ප්‍රතිශත මත, සූත්‍රයක් හරහා ඒ ඒ පක්ෂ වල කාන්තා නියෝජිත සංඛ්‍යාව පිළිබඳව තීරණය කරන බවත් ඉන් අනතුරුව, අදාළ කාන්තා නියෝජිතවරියන් නම්කර එවන්නැයි දේශපාලන පක්ෂ වලට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

අදාළ සියලු කටයුතු අවසන් වූ පසුව 2025 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභික නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරන බවත් එහි සභාපතිවරුන්, උප සභාපතිවරුන් ඇතුලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරෙන්නේ, ඉන් අනතුරුව බවද සභාපතිවරයා සඳහන් කරයි.

වසර 20කට පසු පැමිණි අජේ බංගාගෙන් ඩොලර් බිලියනයක්.!

වසර 20කට පසු පැමිණි අජේ බංගාගෙන් ඩොලර් බිලියනයක්.!

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා  (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබේ.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. 

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු  සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍යඅංශය පවසයි. 

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බව සඳහන් වේ.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත. 

ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ් (Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury),  ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා  නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan)  යන මහත්වරුද මීට එක්ව තිබේ. 

එහිදී ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ.

ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් බවයත්ය.

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවෙන් පසුව මේ බව නිවේදනය කර ඇත.

එම නිවේදනයේ සඳහන් පරිදි ඉදිරි දශකය තුළ තරුණයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ඇතුළු වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති නමුත් එම කාලය තුළ රැකියා 300,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්,

කැලේ පැන්න ප්‍රසන්නට අධිකරණයෙන් දුන් තීන්දුව.!

කැලේ පැන්න ප්‍රසන්නට අධිකරණයෙන් දුන් තීන්දුව.!

පොලීසිය මඟහරිමින් මාස කිහිපයක් සැඟව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද (07) පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වීමෙන් පසු ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ලැබ සිටියේය.

අධිකරණය වෙත භාර වු හිටපු අමාත්‍යවරයා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව තිබේ.

කොළඹ පුරපති තැන රුවේස් හනීෆාට.?

කොළඹ පුරපති තැන රුවේස් හනීෆාට.?

අද (07) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කොළඹ මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත්කර ගන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ මහ ලේකම්වරයා,

“මේ මැතිවරණයේදී විපක්ෂයේ සියලු පක්ෂ තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩිකරගෙන තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට මහ මැතිවරණයේ තිබුණු ජනවරම මේකෙදි අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ විපක්ෂය ලැබූ ජයග්‍රහණයක්. මාස 05කින් මේ රටට එපා වුණ ආණ්ඩුවක් විදිහට තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව අපි දකින්නේ. අපි පැහැදිලිව ආණ්ඩුවට පෙන්නවා ඉදිරියේදී මේ පළාත් පාලන ආයතන පිහිටුවද්දි විපක්ෂයේ කාණ්ඩයන් සියල්ල එක්තුකරලා පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් අපි පිහිටුවන්න යනවා”

මේ අතර සජබ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයා ආචාර්ය, රුවේස් හනීෆා මහතා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පුරපති ධුරය සඳහා ආචාර්ය, රුවේස් හනීෆා මහතා තෝරා ගැනීමට විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සහාය ලබාගැනීමට සජබ සාකච්ඡා කරමින් පවතින බවද වාර්තා වෙයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ම ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුවද, කොළඹ මහනගර සභාව, කොළොන්නාව සහ සීතාවකපුර නගර සභා මෙන්ම සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රී ධුර 48ක් තේරී පත්විය.

නමුත් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම් 3 සහ සර්වජන බලය යන පක්ෂ අතර බෙදී ගිය මන්ත්‍රී ධුර සංඛ්‍යාව 69කි.

කෙහෙලිය නැවතත් ඇතුලට.!

කෙහෙලිය නැවතත් ඇතුලට.!

අද (7) පස්වරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ජිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත කැදවා තිබූ අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

විපක්ෂයේ සියලුම දෙනා එකතු කර නායකත්වය දෙන්න සජිත් සූදානම්.!

විපක්ෂයේ සියලුම දෙනා එකතු කර නායකත්වය දෙන්න සජිත් සූදානම්.!

විපක්ෂයේ සියලු දෙනාම එකට එකතු කරගනිමින් ඊට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

මැතිවරණයේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ විපක්ෂය එකට එක්වී කටයුතු කරන ලෙසට ජනතාව පණිවුඩයක් ලබාදී ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,

“රටේ ජනතාව අපිට ලබාදීලා තියෙන පණිවිඩය තමා, විපක්ෂයේ සියලුදෙනා එකට එකතු කරගනිමින් රටේ ජනතාව අනුමත කරා බොරුව පරාජය කරමින්, සත්‍යවාදී, ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලු බලවේග එකතු විය යුතු යැයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉටුකරන්න අපි සුදානම්.

ඊට නායකත්වය ලබාදීමට අපි සුදානම්. ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කරගෙන ජනතාව බලාපොරොත්තු වෙන ජනතා සේවාවක්, ප්‍රතිපත්ති ගරුකව මේ ඇති වෙන එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටුකිරීම අපේ අරමුණයි. ඊට නායකත්වය ලබාදෙන්න අපි සුදානම්.”