Out of the box (Sinhala)

මෝදර මැරයෝ 5ක් එකට තබා පෝරකයට.!

මෝදර මැරයෝ 5ක් එකට තබා පෝරකයට.!

අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් 2012 වසරේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසල දී තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනයද දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම්ද නියම කළේය.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ විත්තිකරුවන් දෙදෙනා එම වරද සිදු කරන අවස්ථාවේදී වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ව සිට ඇති බැවින් ඔවුන්ට එම දඬුවම නියම කළ බව විනිසුරුවරයා සඳහන් කළේය.

2012 වසරේ සැප්තැම්බර් මස 26 වනදා මට්ටක්කුලිය තොටුපොළ පාරේ කෝවිලක් අසල දෙපිරිසක් අතර වූ ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් 21ක් හැවිරිදි අවිවාහක තරුණයෙකුව විකට් පොලුවලින් සහ පොලුවලින් පහරදී මරා දැමීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනුකර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල ඔප්පු කර ඇති බවය.

ඒ අනුව විත්තිකරුවන් චෝදනා තුනකට වරදකරුවන් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූ එක් විත්තිකරුවකු සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ විත්තිකරුවකු පිය පුතුන් බවද සඳහන්.

එමෙන්ම මෙම නඩුවේ චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නඩු විභාගය අතරතුරදි මියගොස් තිබුණි.

රනිල්ගේ කට උත්තරයෙන් පසු අනුරටත් බාල්දියක්.!

රනිල්ගේ කට උත්තරයෙන් පසු අනුරටත් බාල්දියක්.!

තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත් අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ගැටලුවේදී කිසිඳු අඩුපාඩුවක් තමන්ට පෙනෙන්නට නොමැති බවයි අද (28) අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාවලට මුදල් යෙදවිය හැක්කේ විසර්ජන පනත නීතිය ප්‍රකාරව පමණක් බවත්, තැන්පත් ගිණුමකට මුදල් යෙදවිය හැක්කේ ඉඩ ලබාදුනහොත් පමණක් බවට එම පනතේ කොතැනකවත් සඳහන් කර නොමැති බවත්, පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ ලබා නොදෙන්නේ නම්, එම කාල වකවානුවේ ඉඩ ලබා නොදෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර, අල්ලස් කොමිසමේ ඇති ලිපිගොනු වෙනත් පාර්ශවලට පෙන්වීම සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට විරෝධතාව ප්‍රකාශ කළ බවත්, ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක තමා අල්ලස් කොමිසමට යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් මැතිවරණ රැළියකදී ප්‍රකාශයක් සිදු කළ බවත්, ඒ අනුව අල්ලස් කොමිසමේ ලිපි ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා අරගන්නා බවට පෙනී යන බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

පාසල පවා අහිමි කළ ෂාෆිගේ දියනිය ජාතිවාදීන්ට පිළිතුරු දුන් හැටි.!

පාසල පවා අහිමි කළ ෂාෆිගේ දියනිය ජාතිවාදීන්ට පිළිතුරු දුන් හැටි.!

2019 වසරේ පැවති රජය මුස්ලිම් විරෝධයක් මතුකර දේශපාලන වාසි ලබාගැනීම සඳහා සිදුකළ කුප්‍රකට සැලැස්මේ කොටසක් වූ ‘වඳ සැත්කම්’ මාධ්‍ය ප්‍රබන්ධයේ ගොදුරක් බවට පත්වූයේ එවකට කුරුණෑගල රෝහලේ සේවය කළ මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු වූ ෂාෆි ෂිහාබ්දීන් මහතාය.

ඔහුට එරෙහිව ජාතිවාදීන් විසින් ඇතිකළ ගැටලුකාරී තත්වය හේතුවෙන් ඔහුගේ දියණියට සිය පාසැල් ගමන පවා අත්හැර දැමීමට සිදුවූ අතර පසුව ඇය නිවසේ සිට අධ්‍යාපනය ලබා පුද්ගලිකව විභාගයට මුහුණ දුන්නේ විශාල සමාජ පීඩනයක් මැදය.

එසේ විභාගයට පෙනී සිටි මොහොමඩ් ෂාෆි ෆාතිමා සයිනැබ් සිසුවිය මෙවර උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්ව A සාමාර්ථ තුනක් ලබා ඇති අතර අනුරාධපුරයෙන් විභාගයට පෙනී සිටි ඇය දිස්ත්‍රික් 12 වෙනියා මෙන්ම දිවයිනෙන් 357 වෙනිියා වී ඇත. ඉසෙඩ් අගය 2.2780 හිමි ඇයට වෛද්‍ය පීඨයට ඇතුළත්වීමට අවස්ථාව පවතින බව වාර්තාවේ.

එමෙන්ම ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන්ද A සාමාර්ථ 9ක් ලබා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කළ දැරියකි.

එවක රජයේ උවමනාව මත මාධ්‍ය කිහිපයක් මගින් ගොතන ලද ප්‍රබන්ධයක්වූ “මුස්ලිම් වෛද්‍යවරු සිංහල දරුවන් වඳ කිරීමේ කතාව” ජාතීන් දෙපිරිස අතර ජාතිවාදය වැපිරීමටත් ඒතුලින් සිංහලයා වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු රටට අවශ්‍යය යන පණිවිඩය ලබාදීමටත් උත්සාහ දරා තිබුණි.

පසුව විභාග කළ කරුණු වලින් පෙනී ගියේ දරුවන් වඳවූ බවට සිය ගණන් සාක්ෂි මාධ්‍ය වෙත ලබාදුන් කිසිවෙකු නීතිය හමුවේ සොයාගන්නටවත් නැතිවීමකි.

පසුව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔහු නිදොස්කොට නිදහස් කරනු ලැබීය.

අදින් දළදා දැක්ම අවසන් 4.00න් පසු VIP පමණයි.!

අදින් දළදා දැක්ම අවසන් 4.00න් පසු VIP පමණයි.!

අද පස්වරු 5.30ට දින දහයක් පුරා පැවැත්වූ දළඳා දැක්ම ප්‍රදර්ශනය අවසන් කෙරෙනා අතර එම දින 10 පුරාවට නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

දළදා දැක්ම නිමාවී පැය 24ක් ඇතුළදී මහනුවර පිරිසිදු කිරීමේ වැඩසටහන කීල්ස් ශ්‍රී ලංකා,මධ්‍යම පළාත් සභාව, මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන ගණනාවක සහභාගීත්වයෙන් අද පස්වරු 4ට ආරම්භ වීමට නියමිතව ඇත.

මහනුවර නගරය පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.

දළදා දැක්ම නිමාවූ පසු අද මහනුවර රැදී සිටින සියලුම සැදැහැවතුන් සඳහා රාත්‍රී හා පසුදින උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැලසුම් කොට තිබේ.

නීතියට උඩින් ගිය දේශබන්දුට නඩු පිට නඩු වැටෙයි.!

නීතියට උඩින් ගිය දේශබන්දුට නඩු පිට නඩු වැටෙයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩතහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

අධිකරණයකට ,විනිශ්චාධීකරණයට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත හා අධිකරණ සංවිධාන පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් දේශබන්දු තෙන්නකෝන් හට මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාත්, ඔහු පසුගිය 10 වනදා ඇප ලබා පිටව ගිය වාහනයේ රියදුරු මහතාත් නම් කර තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දි දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 10දා ඇප ලබා ඇප කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ නඩුව ඊයේ (25) කැඳවුවා.

එම අවස්ථාවේ නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව දීර්ඝ ලෙස කරුණු දැක්විමක් සිදු කරනු ලැබුවා.

ඉන් අනතුරුව මෙම වරද සඳහා ඇප ලබාදිය හැකි බවත් එය හිතාමතා සිදු නොකළ බවත් දේශබන්දු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවසුවා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ අධිකරණයේ තිබෙන්නේ මහජනතාවගේ බලය බැවින් එය මහජනතාවගේ බලයට අභියෝග කිරිමක් ලෙස විනිෂ්චය කරන බවයි.

කෙසේවෙතත් මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ඊට අදාලව නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඒ අනුව නියෝග කළේය.

මර්වින්ට එරෙහි යට ගැසූ තවත් නඩුවක් යළි කැඳවයි.!

මර්වින්ට එරෙහි යට ගැසූ තවත් නඩුවක් යළි කැඳවයි.!

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු

අමාත්‍ය මර්වින් සිල්වාට අදාළ නඩුව ජුනි මස 30 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකාර මර්වින් සිල්වා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් අධිකරණයට කරුණු අනාවරණය කෙරුණා.

ඒ අනුව නඩුව ජුනි මස 30 දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.

එදින මර්වින් සිල්වා බන්ධනාගාර ගතව සිටියේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් නියම කළා.

බෑ බෑ කී රනිල් මෙවර හා කියයි.!

බෑ බෑ කී රනිල් මෙවර හා කියයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මෙන් පෙර අවස්තා දෙකකදී හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමෙන් කැඳවීම් කර තිබූ නමුත් විවිද හේතු ඉදිරිපත්කරමින් ඔහු පැමිනීම ප්‍රතික්ෂේප කර තිබුනි.

ගෙම්බා මැරූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට.!

ගෙම්බා මැරූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට.!

මෙවර පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වදින හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මහේෂ් දුමින්ද තැනැත්තා විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ රොෂාන් බුද්ධික පරණවිතාරණ නොහොත් ‘ගෙම්බා’ යන අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් බව වාර්තා වේ.

කටාන, කටියල ප්‍රදේශයේ පුද්ගලයකු වන ඔහු කටාන ප්‍රාදේශීය සභාවට මෙවර තරගවදින හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයේදී ඔහු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව කටාන පොලිසිය පවසයි.

පිහි ප්‍රහාරයකට ලක්ව හිටපු මන්ත්‍රීවරයාද තුවාල ලබා පොලිස් ආරක්‍ෂාව යටතේ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කටාන පොලීසිය විසින්අ ත්අඩංගුවට ගෙන ඇත.

මියගිය පුද්ගලයා හොරකම්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් බවට වාර්තා වේ.

පෙරේදා රාත්‍රී 7.00 ට පමණ මහේෂ් දුමින්ද කටාන, කටියාල ප්‍රදේශයේ සිය ආධාරකරුවකු මුණගැසීමට පැමිණි අවස්ථාවේ ඝාතනයට ලක්වූ ගෙම්බා නමැත්තා බීමතින් එහි පැමිණ මහේෂ් දුමින්ද සමග ආරවුලක් ඇති කරගෙන ඇත.

පසුව ඔහු සඟවාගෙන සිටි පිහියක් ගෙන ඔහුට පහරදීමේදී මහේෂ් දුමින්ද විසින් සිය පුද්ගලික ආරක්‍ෂාවට ළඟ තබාගෙන සිටි පිස්තෝලයෙන් ගෙම්බා නමැත්තාට වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාර 8ක් ඔහු වෙත එල්ල කර ඇති අතර ගෙම්බා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇති අතර ගෙම්බා නමැත්තාගේ ප්‍රහාරයට ලක්වූ මහේෂ් දුමින්ද රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබිණි.

සූට්කේස් ඝාතකයාට මරණ දඬුවම.!

සූට්කේස් ඝාතකයාට මරණ දඬුවම.!

මීට වසර 9 කට පෙර කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර, ඇයගේ මෘත දේහය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියන් පාරේ බස් නැවතුම්පොලක තබා පලා ගිය චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

2015 වසරේ ජූලි මස 29 වැනි දින කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී ධර්මරාජා කාර්තිකා නමැති කාන්තාව ඝාතනය කර, ඇයගේ මෘත දේහය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි බස් නැවතුම්පොලක දමා යාමේ සිද්ධියට අදාළව පැට්‍රික් ක්‍රිෂ්ණරාජා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු බව සඳහන් කළේය.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු ප්‍රකාශ කර සිටියේ තමා එම චෝදනාවලට නිවැරදිකරු බවයි. එහෙත්, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින්, ඔහු එම චෝදනාවලට වරදකරු කරන බවත්, ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

ඝාතනය පිටුපස කතාව

සිද්ධිය මුලින්ම වාර්තාවන්නේ පිටකොටුව බැස්ටියන් මාවතේ අනුරාධපුර බස් නැවතුම අසළදී ආන්දෝලනයට තුඩු දුන් සූට් කේසයක දමා තිබියදී හමුවූ කාන්තා මළ සිරුර  නිසාය.

එම සිදුවීම ගැන මාධ්‍ය හෙළිදරව්වලින් පසුව හෙට්ටිවීදියේ ලැගුම්හලක කළමනාකරුවෙකු පොලිසියට පැවසුවේ සැකකටයුතු ගමන් මල්ල තම ලැගුම් හලේ සිට ගෙන ගිය අයුරු සීසීටීවී දර්ශන හමුවූ බවකි. මේ ගැන පොලිසිය සිදුකළ පරීක්ෂණ අනුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ මුහුණ අනුව අනන්‍යතාව හඳුනාගෙන ඇගේ භාරකරුවන් පොලිසිය අමතා තිබුණි.

ඒ සමග එකී කාන්තාව සමග ඒ දිනවල ගතකළ අනියම් සැමියෙකු ගැන විස්තරද සපයා තිබුණි. පොලිසියේ සූක්ෂ්ම විමර්ශන අනුව සැකකරු හඳුනාගෙන පසුව අත්අඩංගුවට ගන්නට හැකි විය.

සිරුර දමාගිය බව කියන මියගිය කාන්තාවගේ අනියම් සැමියා, මන්නාරම – කෝවිල්කුලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු එම ඝාතනය සිදු කළ බව පිළිගෙන පොලිසිය හමුවේ එය සිදු කළ ආකාරය ගැන පාපොච්චාරණයක් සිදු කර තිබේ. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු නිවසක පෙදරේරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වූ තොරතුරු අනුව, මියගිය කාන්තාවගේ හිටපු සැමියා සමග ඇයට ප‍්‍රශ්න තිබී ඔහු ඇය හැරදමා වෙනත් කසාදයක් කරගෙන විදේශ ගතවූ පසු මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ ඇය සමග එකට ජීවත්වී ඇත.

නීත්‍යානුකූලව කසාද නොබැන්දත් එම සබඳතාව කෙරෙහි දෙපාර්ශ්වයේ විරෝධයක් තිබී නැත.
මේ දෙදෙනා යාපනයේ සිට කොළඹට පැමිණ ඇත්තේ මීට වසර තුනකට ඉහතදීය. ආමර්වීදිය, කඳාන යන ප‍්‍රදේශවල පදිංචිව සිටි මොවුන් රැකියාව ලෙස කර ඇත්තේ කුකුළු ගොවිපළවල වැඩයි.

කඳාන ප‍්‍රදේශයේ වාසය කරන කාලයේ සැකකරුට දාව මියගිය කාන්තාව දරුවෙකු ප‍්‍රසූත කර ඇත. පෙර විවාහයෙන්ද දරුවෙකු සිටි අතර, එම දරුවා ඥාතීන්ට භාරදී සිටි මෙම කාන්තාව මේ අවස්ථාවේ දරුවා ලැබුණ පසු රාගම රෝහලේ දරුවා දමා පැනගිය බවද සැකකරු පාපොච්චාරණයේදී කියා ඇත.

මෙයට හෙතුවී ඇත්තේ ඔවුන්ගේ දිළිඳුකමයි. අනතුරුව කාන්තාව සැකකරු සමඟ දිවුලපිටිය ප‍්‍රදේශයේ වෙනත් කුකුළු ගොවිපොළක සේවය කර ඇත. එම කුකුළු ගොවිපොලේ හිමිකරු සමඟ ඇතිකරගත් ආරවුලක් නිසා ඔවුන් දෙදෙනාව එයින් පන්නා ඇති අතර ඒ නිසා ඔවුන්ට එකවර යාපනයට යාමට නොහැකිව රැකියාවක් සොයාගන්නා තෙක් හෙට්ටිවීදියේ තාවකාලික ලැගුම්හළක පදිංචියට පැමිණ තිබුණි.

එහි සතියක කාලයක් සැකකරු සහ ඝාතනයට ලක්වු කාන්තාව එහි රැඳී සිට ඇත. 29 වනදා උදෑසන ඔවුන් දෙදෙනා අතර නැවත රැකියාව ලබාගැනීම සම්බන්ධයෙන් ගැටුමක් හටගෙන තිබේ. දිවුලපිටිය කුකුළු ගොවිපොළ හිමිකරු කාන්තාවට පමණක් රැකියාව දෙන්නට කැමති බවට පණිවිඩ එවූ පසු ඒ එය වෙත තනිවම යාමට ඝාතනයට ලක්වු කාන්තාව ප‍්‍රතික්ෂේප කිරීම නිසා සැකකරු ඇය සමග ආරවුල් කරගෙන ඇත.
එම අවස්ථාවේ ලැගුම්හළ තුළදී සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාව එකවරම මියගොස් ඇත. තමා දෙසට සෙරප්පුවකින් පහර දුන් මියගිය කාන්තාවට ප‍්‍රතිප‍්‍රහාර ලෙස පහර කිහිපයක් එල්ල කළ නමුත් ඇය මියයාවි යයි ඔහු සිතා නැත. නමුත් ඇගේ හිසේ නරක තැනකට පහර වැදීම නිසා මියගොස් ඇති බව ඔහු දැක ඇති අතර ඒ නිසා භීතියට පත්ව තිබේ.

තමා ඝාතනයට හසුවුවහොත් අනවශ්‍ය කරදර වේ යයි සිතූ ඔහු මළ සිරුර දෙකට නමා ගමන් බෑගයේ දමාගෙන වවුනියාවේ සහෝදරියකගේ නිවසකට යන්නට කල්පණා කර තිබේ. පිටකොටුව – බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ වෙත ඔහු පිටත්වන්නේ ඒ අනුවයි. සැකකරු එම ගමන් බෑගයට අමතරව තවත් ගමන් මළු දෙකක් රැගෙන වවුනියාවට යන්නට පිටත්ව ඇත්තේ ත‍්‍රීරෝද රථයකිනි.

මළ සිරුර තිබූ ගමන් බෑගය බරින් වැඩි නිසා බස් නැවතුම්පොලේ තැබූ ඔහු අනතුරුව වවුනියාව බස් නවත්වන ස්ථානයට බස් එකක් තිබේදැයි බලන්නට ටිකකට යන්නේ නැවත එතැනට එන්නට සිතාගෙනය.

නමුත් ඔහු නැවත මිනී ගමන් බෑගය රැගෙන ඒමට යන අවස්ථාව වන විට පුද්ගලයින් එතැන වටවී සිටිනු ඔහු දැක ඇත. එම ස්ථානයට පොලිසිය පැමිණ පරීක්ෂණ සිදු කරමින් විශාල පිරිසක් රැඳී සිටීම නිසා බියට පත් ඔහු එම ගමන් බෑගය අතට ගැනීම අතහැර දමා වවුනියාවේ සහෝදරියගේ නිවසට යාමට පිටත්වුණි.

එහි එක් දිනක් සිටි ඔහු පසුව මන්නාරමේ පිහිටි ඥාතියෙකුගේ නිවසට ගොස් තිබුණි. අනතුරුව පෙදරේරු රැකියාව සඳහා ගොස් තිබුණ ඔහු පොලිසියේ පරීක්ෂණ අනුව අල්ලාගැනීමට හැකිවුණි.

තමා එම කාන්තාව මරන්නට සිතා සිටියේ නැති බවත් ක්ෂණික කෝපය නිසා මේ ඝාතනය සිදුවූ බවත් සැකකරු පාපොච්චාරණය කර ඇත. කෙසේ වෙතත්, ඔහු මෙම ක්‍රියාව සඟවා ඝාතනය පිළිබඳව පොලිසියට වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් චෝදනා එල්ල වී ඇත.

දීර්ඝ විභාගයකින් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් පැට්‍රික් ක්‍රිෂ්ණරාජා චෝදනාවලට වරදකරු බව ප්‍රකාශ කර, ඔහුට මරණීය දණ්ඩනය නියම කෙරිණි.

පොලීසිය හෙල්මට් ගලවයි.!

පොලීසිය හෙල්මට් ගලවයි.!

පොලිස් මූලස්ථානය විසින් පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත්තේ ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව දැනුම් දී තිබේ.

පසුගිය කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වුවහොත් එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත.