Out of the box (Sinhala)

SF අවංක වෙයි.!

SF අවංක වෙයි.!

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ පොරොන්දු දේශපාලනයෙන් දිගු කළක් බැට කෑ ජනතාව මෙවර පැවැත්වෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදීත් පවතින රජයටම ගමේ බලයත් ලබාදෙන බවට තමා විශ්වාස කරන බවයි.

ඔහු මේ බව පැවසූවේ කඩවත ඉන්ද්‍රා හෝටලයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් වැඩිදුරටත් විමසා සිටියේ, රටපුරා සිදුවන මිනිස් ඝාතන රැල්ල මැඩපැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ රජයේ දුර්වල පාලනයේ වරද නිසාද යන වගයි.

එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා,

“රටේ ජාතික ආරක්ෂාව කඩවැටිලා කියලා විවිධ අන්දමින් විවිධ වාසි බලාගෙන විරුද්ධ කණ්ඩායම් මත පළ කළත් රට තුළ එවැන්නක් සිදුවී නැහැ. ආයුධ සන්නද්ධ ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂාව සැපයීමට තරම් අනතුරුදායක තත්ත්වයක මේ රට තවම පත්වෙලා නැහැ. නමුත් සිවිල් සමාජයේ සමහර පිරිසක් ගිනි අවි භාවිත කරන්න පටන් අරන්. ඒ නිසා රටේ මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු කාලයක් අපි ගතකරමින් ඉන්නවා. ඒක රටේ ජාතික ආරක්ෂාව කඩා වැටීම නිසා ඇතිවූ දෙයක් නම් නෙවෙයි. පෞද්ගලික කෝන්තර වලටත් අසල්වැසියාට කොකා ගැස්සීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා කියන ගිණුමට බැර කරන්න බැහැ.

ටී 56 වගේ ගිනි අවි සිවිල් සමාජය ඇතුළේ භාවිත වෙනවා. පෞද්ගලික ආරවුල් මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී මත්පැන් පෙරීම, ණය ගනුදෙනු, පැරණි ආරවුල්, අනියම් සබඳතා, ප්‍රේම සම්බන්ධතා මේ වගේ සුළු සිදුවීම්වලට වෙඩි උණ්ඩෙන් පිළිතුරු දෙනවා. ලෙයට ලෙය පළිගන්නවා. මුදලට කොන්ත්‍රාත් ක්‍රමේට සිදුකරන මිනිස් ඝාතන. ඒ ඇරුනම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ. මම ආණ්ඩුවට කඩේ යනවා නෙවි.”

අති දක්ෂ පෞද්ගලික පොලිස් විමර්ශකයෙක් මිලදී ගන්න ජනතාවට අවස්ථාව.!

අති දක්ෂ පෞද්ගලික පොලිස් විමර්ශකයෙක් මිලදී ගන්න ජනතාවට අවස්ථාව.!

ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ නිල සුනඛයන් 42 දෙදෙනකු වෙන්දේසි කිරීමට එම කොට්ඨාසය පියවරගෙන තිබේ.

එම වෙන්දේසිය ලබන 05 වැනිදා මහනුවර අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසයේදී සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 28 වැනිදා නිකුත්කර ඇත.

පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසන්නේ වෙන්දේසි කරනු ලබන සුනඛයන් 42 දෙනාම නිල සුනඛ පුහුණුව ලැබ පොලිසියට සේවා සපයා සේවයෙන් ඉවත්කර ඇති සුනඛයන් බවයි.

මේ අනුව බේල්ජියන් මැලිනොයිස් වර්ගයේ නිල සුනඛයන් 13 ක්ද, ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ නිල සුනඛයන් 10 දෙනකුද, ඉංග්ලිෂ් ස්පැනියල් වර්ගයේ නිල සුනඛයන් 02 දෙනකුද, රොට්වයලර් වර්ගයේ නිල සුනඛයන් 1ක්ද, ලැබ්රඩෝර් රිට්රීවර් වර්ගයේ නිල සුනඛයන් 06 ක්ද, ඩොබර්මන් පින්ස්වර් වර්ගයේ නිල සුනඛයන් 2ක්ද, කොකර් ස්පැනියල් වර්ගයේ නිල සුනඛයන් 03ක්ද, ගෝල්ඩන් රිට්රීවර් වර්ගයේ නිල සුනඛයෙක්ද, ඇලස්කන් මැලමුට් වර්ගයේ නිල සුනඛයෙක්ද, බුල්මස්ටිෆ් වර්ගයේ නිල සුනඛයෙක්ද, ඩැල්මේෂන් වර්ගයේ නිල සුනඛයෙක්ද, ටෝයි පූඩ්ල් වර්ගයේ නිල සුනඛයෙක්ද වෙන්දේසි කිරීමට නියමිතය.

ඒ අතරින් පිරිමි සුනඛයන් 26 දෙනකු වන අතර 16 ක්ම ගැහැනු සතුන් වන බව වැඩිදුරටත් සඳහන්.

තනි අලියාගේ බර අකිලට.!

තනි අලියාගේ බර අකිලට.!

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් එම පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත්කර ඇත.

අද (01) දින පස්වරුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත් කිරීම නිල වශයෙන් නිවේදනය කළේය.

වසන්ත සහ ජයන්ත වැව් බැම්මේ ගැටෙයි.!

වසන්ත සහ ජයන්ත වැව් බැම්මේ ගැටෙයි.!

පසුගිය මාර්තු 27 වන දා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සංචාරක කර්මාන්තය මූලික කරගෙන අනුරාධපුරයේ නුවර වැවේ වැව් බැම්ම වාහන ගමනාගමනයට විවෘත කරන ලෙස සංවර්ධන කමිටුවේ සභාපතිවරයා කළ දැනුම් දීමක් පිළිබඳව විමසූ අවස්ථාවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා සහ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර සංවාදයයක් හට ගත්තේය.

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“වසර 15ක පමණ කාලයක් තිස්සේ සංචාරක ආකර්ෂණයක් පවතින අනුරාධපුර නුවර වැව වැව් බැම්ම වාහන ගමනාගමනයට අවහිර වන සේ වසා තැබීම නිසා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් එල්ල වී ඇත. එබැවින් වැව් බැම්ම වසා දැමීමට නිශ්චිතව හඳුනාගත් තාක්ෂණික කාරණයක් නොමැති නම් වැව් බැම්ම වසා තැබීම නොකළ යුතු බවත්, එය කඩිනමින් විවෘත කළ යුතු බවත් කමිටු සභාපතිතුමා කමිටුවට පෙන්වා දෙන ලදී.” (පසුගිය කමිටු රැස්වීමේ වාර්තාව උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය)

“අපට වාරිමාර්ග ඉන්ජිනේරුතුමා කියන්නකො බලන්න මොකක් ද තත්ත්වෙ කියලා?”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“මේ සම්බන්ධයෙන් මම වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ කරුණු ඉදිරිපත් කළා. එතුමා මේක පරීක්ෂා කිරීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙසැම්බර් මාසෙ 25 වෙනිදා පැමිණියා. ඇවිල්ලා බලලා ලියුමක් එවල තිබුණා මේක තවදුරටත් විවෘත කරන්න බෑ. නමුත්, සංචාරක කර්මාන්තයට බාධාවක් නොවෙන විදිහට ගේට්ටුවලින් බයිසිකලයක් සහ පයින් යන්න පුළුවන් විදිහට ඉඩක් තියලා අවශ්‍ය කටයුතු කරන්න කියලා. දැනට අපි අවශ්‍ය කටයුතු කරල තියෙනවා.”

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“ඒ කියන්නේ බෑ කියන්න හේතුව මොකක් ද?”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“නුවර වැව, තිසා වැව වගේ ගත්තොත් මේවා අවුරුදු සිය ගණනකින් විතර ප්‍රතිසංස්කරණය කරල නෑ මේ වැව්වල. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉදිරිපත් කරල තියෙන්නෙ දැනට වැව් බැම්ම හරහා යාමේ ඇක්සස් ලබා දීමට අවශ්‍යතාවක් නෑ කියන කාරණය.”

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“ඒක වාරිමාර්ග අධ්‍යක්ෂතුමාට තීරණය කරන්න ඕන නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් ඕන නෑනෙ. අපට කියන්න ඕන මේක. අලුත්වැඩියා කරල නැත්නම් අලුත්වැඩියා කරන්න ඕනෙ. එහෙනම් අපට එන්න ඕනෙ මේව හදල නෑ, ඒක රෙපෙයාර් කරන්න බැරි නිසා යන්න බෑ. එතකොට තියෙනව කාරණයක්, එහෙනම් රෙපෙයාර් කරල අරිමු.”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“මේ වැව් බැම්මේ මුහුණත පළල මදි. අනිත් එක මේකෙ ස්ලෝප් එක ගොඩක් වැඩි යි. ඒ ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට වාහන දෙකක් මාරු වීමේ ගැටලුවක් තියෙනවා. සුළු වශයෙන් ජල කාන්දු තියෙනවා වැව් බැම්මේ.”

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“ඒක වහගෙන ඉඳල මොක ද කරන්නේ?”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“ඒකෙන් වාහන යාමේ අවශ්‍යතාවක් නෑනෙ ඇත්ත වශයෙන් ම.”

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“කවුද ඒක තීරණය කරන්න ඕනෙ? වාහන යාමේ අවශ්‍යතාව තීරණය කරන්න ඕනෙ වාරිමාර්ග අධ්‍යක්ෂතුමා නෙවෙයි. ඕව කැඩුණොත් ආපහු හදන්න තීරණය කරන්න තියෙන්නෙ කාට ද? අපිට ම තමයි. වාරිමාර්ග අධ්‍යක්ෂතුමා තීරණය කරන්න ඕන නම් අපි ඕන නෑනෙ මේක කතා කරන්න. ඒක වැරදියි ඒ ස්ථාවරය.”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“වැව් බැම්ම කඩාගෙන ගියොත් එහෙම සහ හදිසියේ මේක රෙපෙයාර් කර ගන්න බැරි වුණොත් අපිට කරන්න දෙයක් නෑ…. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙන උපදෙස් අනුව තමයි මට කටයුතු කරන්න පුළුවන්.”

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“ඒ කියන්නෙ ඒක තීරණය කරන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද? දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ද? දැන් අපිට මේක යෝජනාවක් ඇවිල්ල තියෙනවා.”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් යෝජනාව ආව නිසා මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට යොමු කළා. නමුත්, වැව් බැම්මෙ ප්‍රශ්න තියෙන නිසා මේක ලබා දීමේ හැකියාවක් නැහැ කියල එවල තියෙනවා. දිස්ක්‍රික් ලේකම්තුමාටත් ඒක යොමු කළා. නමුත් මේ කමිටුව අද දින මේ වැව් බැම්ම විවෘත කරන්න ඉල්ලනවා නම් මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට නැවත ලියල මේකට අවශ්‍ය විශේෂඥ කමිටුවක් දාලා ඇස්තමේන්තුවක් සකස් කරල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන්නම් අවශ්‍ය අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා.”

එස්. එෆ්. සරත්ට මරණ දණ්ඩනය.!

එස්. එෆ්. සරත්ට මරණ දණ්ඩනය.!

බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්. එෆ්. සරත් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කළේය. 

2005 වසරේ සිදුවූ මෙම ඝාතයට අදාළව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර තිබූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය නියම කළේය.

2005 වසරේ අගෝස්තු මස පළමු වැනිදා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි සැලූන් එකක් තුළදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නමත්තකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

මියන්මාර ඛේදවාචකය මරණ 2000 ඉක්මවයි.. මිනී දුර්ගන්ධය රට පුරා පැතිරෙයි.!

මියන්මාර ඛේදවාචකය මරණ 2000 ඉක්මවයි.. මිනී දුර්ගන්ධය රට පුරා පැතිරෙයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ මියන්මාර ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දරුණුතම භූකම්පනයෙන් මියගිය ගණන ඊයේ වන විට 2,056 දක්වා ඉහළ ගිය බව එරට හමුදා රජය තහවුරු කර ඇති බවයි.

පසුගිය සිකුරාදා උතුරු මැද මියන්මාරයේ මිලියන 1.5ක ජනතාව පදිංචිව සිටින මැන්ඩලයි නුවර කේන්ද්‍ර කරමින් සිදුවූ රිච්ටර් මාපකයේ 7.7ක අගයකින් යුතු එම භූකම්පනයෙන් තුවාල ලැබූ පිරිස හාරදහසකට ආසන්න බවත්, තවත් පුද්ගලයන් 270ක් ආගිය අතක් නැති බවත් මියන්මාර හමුදා රජය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

සන්නිවේදන පද්ධති බිඳ වැටීම හේතුවෙන් භූ කම්පනයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිස කොපමණදැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවත්, එය දැනට වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු භූ විද්‍යා විශේෂඥවරුන් අනුමාන කර ඇත්තේ භූකම්පනයෙන් මිය ගිය ගණන දසදහස දක්වා ඉහළ යා හැකි බවය.

භූකම්පනය සිදුවී දින 3කට අධික කාලයක් ගත වී ඇති අතර, තවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් කඩා වැටුණු නිවාස හා ගොඩනැඟිලි සුන්බුන් අතර සිරවී සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඔවුන් මුදා ගැනීම කඩිනම් කිරීමට හමුදා සහ ආපදා කළමනාකරණ සේවකයන් දිවා රාත්‍රී අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මැන්ඩලායි නුවර ආසන්නයේ පිහිටි සගේන් නගරයේ සහ ඒ අවට සෙසු නගරවල රෝහල් තුවාලකරුවන්ගෙන් සහ මළ සිරුරුවලින් පිරී ඉතිරී ගොස් ඇති අතර, මළසිරුරවල දුගන්ධය නගර පුරා පැතිරී ගොස් ඇතැයි වාර්තා වේ.

තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වීදි හා මහමාර්ගවල තාවකාලික කූඩාරම් ඉදිකර ප්‍රතිකාර කිරීමට බලධාරීහු පියවර ගෙන තිබේ. තුවාලකරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ ප්‍රමාණවත් නොවන බවත්, යැංගුන් ඇතුළු අවට නගරවල වෙළෙඳපොළේ මළසිරුර බහාලුම්වල මිල ද ඉහළ ගොස් තිබේ.

භූකම්පනයෙන් අවතැන් වූ මැන්ඩලායි නුවර ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 8ක හදිසි ආපදා ආධාර ඉල්ලා ඇත. රටවල් රැසකින් මේ වන විට සහනාධාර ලැබී ඇති අතර, මෙහෙයුම් සඳහා සහාය වීමට විදෙස් හමුදා කණ්ඩායම් රැසක් ද එක්වී සිටින බව වාර්තා වේ.

මැන්ඩලායි නුවර භූකම්පනය අසල්වාසී තායිලන්තයේ බැංකොක් නුවරට ද සැලකිය යුතු හානි සිදු කර තිබූ අතර, භූ කම්පනයත් සමඟ බැංකොක් නුවර ඉදි කරමින් පැවැති මහල් 30කින් සමන්විත ගොඩනැඟිල්ලක් මුළුමනින්ම පොළොවට සමතලා වීමෙන් එහි සිටි ඉදි කිරීම් සේවකයන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

අද සිට බිත්තර සඳහා 18%ක බද්දක්.!

අද සිට බිත්තර සඳහා 18%ක බද්දක්.!

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ බිත්තර සදහා අද (01) සිට 18%ක වැට් බද්දක් අයකරන බවයි.

එම සංගමයේ ලේකම් එච්.එම්.බි.ආර්.අලහකෝන් මහතා පවසන්නේ බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද බිත්තර මිලේ කිසිදු වැඩිවීමක් සිදු නොවන බවයි.

කෙසේවෙතත් බිත්තර අලෙවියෙන් ලබන ආදායම වැට් බද්දට යටත් වන බවත් බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතිහාසයේ පළමුවරට බවත් ඔහු සඳහන් කළේය.

බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ නිසා බිත්තර කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවත් සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

තෙල් මිල අඩුවී නැතිලු.!

තෙල් මිල අඩුවී නැතිලු.!

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන නොමැති බවට දැන්වීම් පළ කර තිබූ අතර තවත් මධ්‍යස්ථාන රැසක පෙට්‍රල් ඉන්ධන පෙර තිබූ මිලට අලෙවි කර ඇති බව දැනගන්නට ඇත.

තම සමාගම් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව පිරවුම්හල් සේවකයන්ගෙන් දැනගන්නට ලැබිණි.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් එම ස්ථානවලින් පෙර පැවති මිලට තෙල් ලබා ගැනීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

(Lankadeepa)

ජනපතිට වැඩ වැඩී ඇමතිට පණ මදී.!

ජනපතිට වැඩ වැඩී ඇමතිට පණ මදී.!

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසද් කුලතුංග පවසන්නේ ජනාධිපතිවරයාට පවතින කාර්යබහුල තත්වයත් සමග ඔහුගේ යටතේ පවතින මුදල් අමාත්‍ය ධූරයට අදාළ තින්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් සිදුවන බවත් එම තත්ත්වය මඟහැරීම සඳහා කඩිනමින් තීන්දු තීරණ ගත හැකි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටිය යුතු බවත් ය.

පසුගිය දා පැවැති එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ඒ සඳහා ජනාධිපතිවරයාට විශ්වාසවන්ත නියෝජ්‍ය ඇමතිවරයකුගේ අවශ්‍යතාව පවතින බව පසුගිය දිනවල වාහන ආනයනය සම්බන්ධයෙන් මුහුණ දුන් අත්දැකීම්වලදී තම සංගමයට පෙනී ගිය බවයි.

ඔහු එහිදී තවදුරට ත් සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලබන තීරණවල ප්‍රමාදයක් පවතින බව ත් මේ හේතුවෙන් වාහන ආනයනකරුවන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම ඉතා අසීරු අඩියකට පැමිණ ඇති බව ත් ය.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මෙසේ ද පැවසීය.

“වාහන ආනයනය අවුරුදු පහකට පස්සේ ප්‍රකෘති වුණේ. රට දුවන්නෙ නිලධාරීන්ට වගකීම් දීලා. ඇමතිවරු කිසි ම වගකීමක් දරන්නේ නෑ. ජනාධිපතිතුමා බොහොම කාර්යබහුලයි. නියෝජ්‍ය ඇමතිවරු මේ පිළිබඳව කටයුතු කරන්නේ නෑ.

නිලධාරීන් පරිස්සමින්, හෙමින් වැඩ කරන්නේ. මුදල් අමාත්‍යාංශය හා රේගුවේ ප්‍රශ්න කෙටි කාලයක් තුළ විසඳීමට උත්සාහ කළත් හරි ගියේ නෑ. වාහන වර්ගීකරණය සම්බන්ධයෙන් ලොකු ගැටලු තිබෙනවා. ඒවා නිසා බදු වෙනස් වෙලා තිබෙනවා.

අපි සුබවාදීව බලනවා නම් තව දින කිහිපයකින් ප්‍රශ්න සියල්ල ඉවර වෙලා වාහන ආනයනය නැවත ප්‍රකෘතිමත් වෙයි. ඉදිරියේදී රටක් විදියට හැමදේම හොඳින් වෙන්න ඕනේ. අනිසි කටයුතු වළක්වලා කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා”

මත්පැන් බෝතලයේ වෙනසක්.!

මත්පැන් බෝතලයේ වෙනසක්.!

සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙරට නිෂ්පාදනය කරනු ලබන සියලුම සැර මත්පැන් හා මෘදු මත්පැන් (බෝතල් සහ කෑන්) වල නිෂ්පාදිත දිනය අද (01 වැනිදා) සිට මුද්‍රණය කිරීම අනිවාර්ය බවයි.

ඒ අනුව සියලුම මත්පැන් නිෂ්පාදකයන් අද (01 වැනිදා) සිට මත්පැන් බෝතල් සහ කෑන්වල නිෂ්පාදිත දිනය බෝතලයේ මූඩියට පහළින් හා අලවන ලද ලේබලයට ඉහළින් මුද්‍රණය කළ යුතුය.

කෙසේවෙතත් සුරාබදු වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ මත්පැන් අලෙවිසල්වල අලෙවි කරන මත්පැන්වල ආරක්ෂිත සලකුණු යෙදීමට අදාළව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකර විදෙස් විනිමය වැයකර ඉන්දියාවෙන් ආනයනය කරන ලද ආරක්ෂිත ස්ටිකරයක් මත්පැන් බෝතල්වලට යෙදීමට කටයුතු කර තිබියදීත්, වර්තමාන සුරාබදු කොමසාරිස්වරයාගේ මෙම තීරණය මගින් තහවුරු වන්නේ එම ස්ටිකරය සම්බන්ධව විශ්වාසයක් නොමැති බවයි.

මත්පැන් බෝතල්වල ආරක්ෂිත සලකුණු යෙදීම පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ක්‍රමවේදයක් බැවින් එය කඩ කිරීමට සුරාබදු කොමසාරිස්වරයාට කිසිදු අයිතියක් නොමැති බවත්, නිෂ්පාදිත දිනය මුද්‍රණය කිරීම සඳහා මත්පැන් නිෂ්පාදකයන්ට විශාල වැය බරක් දරා යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට සිදුවන බවද එම වෘත්තීය සමිති වැඩිදුරටත් පවසති.