Why is this happening (Sinhala)

මහේස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කරයි.!

මහේස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කරයි.!

අධිකරණ කොමිෂන් සභාව මගින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිළධාරින් සිදු කළ මුලීක විමර්ෂණයකින් අනතුරුව බව පැවසේ.

මහේස්ත්‍රාත්වරයා පිළිබදව අධිකරණ කොමිෂන් සභාවට ලැබී තිබු පැමිණිලි පිළිබඳවද විමර්ශණය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහිව දරුණු තීරණයක් ගනී.!

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහිව දරුණු තීරණයක් ගනී.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව ප්‍රකාශයට පත්කළ අතර ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාද සියයට 44ක තීරු බද්දක් පනවන බව ප්‍රකාශ කළේය.

අදාළ බදු පැනවීම අනිද්දා (05) දිනයේ සිට ක්‍රියාත්මක බව වාර්තා වේ.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීම සිදුකර ඇති අතර එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇති බව සඳහන්ය.

මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා සියයට 10ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

කාම්බෝජනයට සියයට 49ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර වියට්නාමයට සියයට 46ක තීරුබදු පැනවීමක් සිදුකර තිබේ.

බංග්ලාදේශයට සියයට 37ක, තායිලන්තයට සියයට 36ක, චීනයට සියයට 34ක, ඉන්දියාවට සියයට 26ක බදු පැනවීමක් සිදුකර ඇති අතර යුරෝපීය සංගමයට ද සියයට 20ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 12.2ක තීරුබදු පැනවීමක් සිදුකර තිබු අතර මෙම නව බදු පැනවීමත් සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇගලුම් අපනයනයන් සිදුකරනුයේ අමෙරිකාවට වන අතර මෙම බදු පැනවීම මඟින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන්ය.

පසුගිය 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 346කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබේ.

රාජාංගනේ හිමි සංඝභාවයෙන් නෙරපයි.!

රාජාංගනේ හිමි සංඝභාවයෙන් නෙරපයි.!

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් ජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.

උන්වහන්සේ සංඝ සභාවෙන් නෙරපා හැරි බවට වන නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඩුල්ල විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.

මෙම හිමි නම රටේ විවිධ සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් සිදුකරනු ලබන ප්‍රකාශ හේතුවෙන් විටින් විට සමාජ මාධ්‍ය තුල ජනප්‍රිය වන අතර පසුගිය අරගල සමයේ මුල් වරට සමාජ මාධ්‍ය හරහා ජනප්‍රියත්වයට පත් විය.

මෙන් පෙර උන්වහන්සේ මෙවැනි අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණි.

කෙසේවෙතත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් පසුගිය ජනවාරි මස චෝදනා පත්‍ර ලබා දී විද්වත් මහාසංඝයා වහන්සේ සිව් නමක් ඉදිරියේ පසුගිය 21.02.2025 දින විනය කමිටුවට ඉදිරිපත් කර ඉන් වැරදිකරු කර භික්ෂු භාවයෙන් නෙරපා හැර ඇති බවයි.

සංඝ සභාවෙන් නෙරපා හැරි බවට වන නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

ආගමික සංහිදියාවට හානි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් 2023-6-21 රාජාංගණයේ සද්ධාරතන හිමි ඒ සඳහා අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් සම්බන්ධව කළ විමර්ශනයකදී රුපියල් කෝටි අටක මුදලක් ගෝතමාලාවේ බැංකු ගිණුමකින් මෙරටට එවා ඇතැයි වාර්තා පළව තිබුණි.

එංගලන්තයේ සිටින පින්සිරි නමැති අයකු විහාරස්ථානය සංවර්ධනයට රුපියල් කෝටි අටක් එවා ඇති නමුත් විහාරස්ථානය සංවර්ධනයට වැයකර ඇත්තේ රුපියල් ලක්ෂ පනහක මුදලක් බවද පසුව හෙළි වී තිබුණි.

මෙම හිමියන් අනුරාධපුරයේ බැංකුවල ඇති ගිණුම් දෙකකින් රුපියල් පන්දහසේ නෝට්ටුවලින් රුපියල් ලක්ෂ අටක් ගෙන ටෙලි නාට්‍ය නළුවෙකු සමග එක්ව ගම්වාසීන්ට බෙදා දීමේ සිදුවීමක් ගැනද අපරාධ පරීක්ෂණ අංශ තොරතුරු හෙලි කරගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක විය.

ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මවට අසභ්‍ය වචනයෙන් බැණවැදීම යන චෝදනා මත සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගත්තේ 2023-5-28 වැනිදාය.

ආගමික සහජීවනයට සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් තුනක රුපියල් කෝටි 6කට අධික මුදලක් තැන්පත්ව තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ 2023 ජුනි මස කරුණු වාර්තා කරමින් සදහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම හිමිනම සම්බන්ධයෙන් අධිකරණ නියෝග ප්‍රකාරව බැංකු ගිණුම් 12ක් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් තුනක වාර්තා ලැබී තිබූ බවත්ය.

මෙම හිමිනම මින් ඉහතදී සිදුකර ඇති ප්‍රකාශ හේතුවෙන් ජනතාව අතර අසමගියක් සිදුව ඇති බවටත් ඒ නිසාම ඇතැම් ප්‍රදේශ උන්වහන්සේට තහනම් කලාප කර ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවක අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සැකකාර හිමිනම කරන මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව වූයේ නොමැති අතර, මේ පිටුපස යම් සංවිධානාත්මක පිරිසක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව ද විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායක හිමියන් දානශාලාවක්, විහාර ගෙයක් ගොඩනගා ඇති අතර, දරුවන් 342දෙනකු රඳවා සිටින දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත්ය.

උන්වහන්සේගේ විහාරස්ථානය පිහිටි ගම්මානයේ අවමංගල්‍යයක් සිදුවුවහොත් ඒ නිවසකට රුපියල් හැත්තෑදහසක මුදලක් ලබා දෙන බව ද නීතිඥවරයා සඳහන් කළේය. මෙම හිමියන්ගේ ගිණුම්වලට මේ පුණ්‍ය කටයුතු සිදුකිරීම සඳහා එංගලන්තයේ ජීවත්වන දායකයකු මෙම මුදල් ලබා දී ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය ප්‍රකාරව සැකකාර හිමිනම දඬුවම් ලැබිය යුතු වැරදි කළැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත භාරයට පත්කර තිබුණි.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසිනි.

මෙම චෝදනා එල්ලවෙමින් පැවතියදී රාජාංගනයේ සද්ධාරතන හිමියන් උන්වහන්සේගේ සමුගැනීම සම්බන්ධයෙන් 2023 අප්‍රේල් මස ප්‍රකාශයක් සාමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර එහිදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

“කල්පනා කරලා කල්පනා කරලා මම මේ තීරණේ ගත්තේ. මම තීරණය කලා මේ ආශ්‍රමයට සමුදෙන්න. රණ්ඩු කර කරා වලි දාගෙන එහෙම ශාසනයේ ඉන්න උවමනාවක් මට ඇත්තෙ නෑ. මං මේක අවංකව කලේ. මේ අත් දෙකෙන් කිසිම හොර වැඩක් ජරා වැඩක් කරලා නෑ. බුදු හාමුදුරුවෝ නාමෙන් ඔළුවේ අත තියා දිව්රලා කියන්නේ සිවුරක් දරාගෙන කිසිම ජරා වැඩක් කරලා නෑ.

මෙතනට සුදත්ත මහත්මයාගේ යූටියුබ් එකෙන් ලැබුනු සල්ලී, ජනාධිපති බාප්පා ෆේස්බුක් පේජ් එකෙන් ලැබුනු සල්ලී මගේ හිතවත් නාළිකා වලින් කවුරු හරි රුපියලක් හරි දුන්නනම් ඉතාම අවංකව ඒ මුදල් මම මේ සඳහා යොදවලා තියෙන්නේ.

වංචා කලා කියලා කවුරුහරි ඔප්පු කලෝතින් මම එතනදිම මේ බෙල්ල කපා ගන්නවා. සුදත්ත මහත්තයගේ නම අයින් කරා කියලා පියසිරි මහත්තයගේ හොඳ කිව්වා කියලා තමයි ප්‍රශ්නේ. මගේ පිටිපස්සෙන් නයයි පොළඟයි වගේ පන්න පන්න එනවා. මීට වඩා හොඳයි මගේ ජීවිතේ මෙතනට නාස්ති නොකරා ජීවත් වෙන එක වඩා හොඳයි ගෙදඑර යන එක. තාත්තා විතරයි ඉන්නෙඅම්මා නැති වුණා.

සියලු දෙනාටම ස්තූතියි මම සමුදෙන්න තීරණය කලා. මඩ ගහන්නෙපා අවලාද නගන්නෙපා. මට මෙතන රජ සම්පත් තිබ්බත් වැඩක් නෑ හිතට සැනසීමක් නැත්තම්. සිවුර මට වැඩක් නෑ..සියලු දේටම සමුදීලා මම ගෙදර යන්න සූදානම්. මම කුණුහරප කියපු එක ඇත්ත. කුණුහරප කිව්වේ මේ රටේ දුක් විදින අහිංසක මිනිස්සු වෙනුවෙන් මිසක් මම වෙනුවෙන් නෙමෙයි.”

සමස්තයක් ලෙස, රාජාංගනයේ සද්ධාරතන හිමි සංඝභාවයෙන් නෙරපා හැරීමට රාමඤ්ඤ මහා නිකාය සභාව විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීමට සියලු පියවර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ජනතාව අතර ආගමික අසමගිය ඇති කිරීමට හේතුවන ප්‍රකාශ සිදු කිරීම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනා යටතේ දිගින් දිගටම සිදුවන විමර්ශන හමුවේ මෙම තීරණය ගෙන ඇති අතර, 2023 වසරේ ආරම්භ වූ මෙම විමර්ශන 2025 දක්වා ක්‍රියාත්මක වී ඇත.

මැතිවරණයෙන් පසු අගමැති බිමල්.?

මැතිවරණයෙන් පසු අගමැති බිමල්.?

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ පවසන්නේ වත්මන් ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය වෙනස් කිරීමේ අභ්‍යන්තර සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බවයි.

සිය යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් මුදා හරිමින් ඔහු පවසන්නේ එළඹෙන මැතිවරණයෙන් පසු අගමැති ධුරය මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වනු ඇති බවයි.

ඒ අනුව දැනට අග්‍රාමාත්‍ය ධුරය දරන හරිනි අමරසූරිය මහත්මිය වෙනුවට බිමල් රත්නායක මහතාගේ නම යෝජනා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

එමෙන්ම ජනපතිවරයාගේ ඉල්ලීමක් මත මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජනය කරන පුද්ගලයෙකු පත් කෙරෙනු ඇති බවටද තොරතුරු ලැබී ඇති බවද ඔහු පවසයි.

මේ වනවිට සමගි ජන බලවේගය ආසන සංවිධායක ධුරය දරමින් සිටින ඒ මහතා කලකට පෙර ජවිපෙ බස්නාහිර පලාත් සභා මන්ත‍්‍රී කණ්ඩායම් නායක ලෙස කටයුතු කලේය.

පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එක් වූ ඔහු පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අතර එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක ධූරයද දැරීය.

එමෙන්ම 2015 යහපාලන ආණ්ඩුව සමයේ ඔහු රුවන් විජේර්වධන හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් ලෙස ද කටයුතු කළේය.

ඉශාරා සෙව්වන්දි සොයා අනුරාධපුර හෝටලයක් පීරයි.!

ඉශාරා සෙව්වන්දි සොයා අනුරාධපුර හෝටලයක් පීරයි.!

ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉශාරා සෙව්වන්දි නැමැති කාන්තාව, අනුරාධපුර නගරයේ හෝටලයක නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (31) අදාළ හෝටලයේ වැටලීමකින් සිදුකර ඇත.

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි අදාල හෝටලයේ ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව සිටින බවට බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීමට සම්බන්ධ වී තිබේ.

කෙසේවෙතත් එම වැටලීමේදී ඇගේ රුවට බෙහෙවින් සමාන කාන්තාවක් සහ හිටපු හමුදා මේජර් වරයෙකු ලක්ෂ 35කට ආසන්න අයිස්, කුෂ් හා කේරල ගංජා තොගයක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුණෑගල, උඩවල පාරේ පදිංචි 53 හැවිරිදි හිටපු හමුදා මේජර් වරයෙකු සහ 33 හැවිරිදි කාන්තාවකි.

එම වැටලීම සඳහා පොලිස් නිල සුනඛ අංශයේද සහාය ලබා ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සහ හිටපු මේජර් වරයා අනියම් සබඳතාවයක් පවත්වා ගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට අනාවරණය කරගත් බවත් සැකකාර හිටපු මේජර්වරයා මත්ද්‍රව්‍ය චෝදනා වලට කීප වතාවක් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් අයකු බවද පොලිසිය සඳහන් කලේය.

මීට දින හතරකට පමණ පෙර අදාල හෝටලයට පැමිණි නවාතැන් ගෙන ඇති සැකකාර යුවල අත්අඩංගුවට ගෙන සිදු කල පරීක්ෂා කිරීම් වලදී, අයිස්, කුෂ් කේරල ගංජා මත්ද්‍රව්‍ය වලට අමතරව සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්, රන් ආභරණ, ජංගම දුරකථන තොගයක්, පවර් බැන්ක් 5ක්, විවිධ යතුරු කිහිපයක්, ගට්ටේප්, ගම්බෝතල් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගත් බව පොලිසිය සඳහන් කලේය.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වසන්ත සහ ජයන්ත වැව් බැම්මේ ගැටෙයි.!

වසන්ත සහ ජයන්ත වැව් බැම්මේ ගැටෙයි.!

පසුගිය මාර්තු 27 වන දා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සංචාරක කර්මාන්තය මූලික කරගෙන අනුරාධපුරයේ නුවර වැවේ වැව් බැම්ම වාහන ගමනාගමනයට විවෘත කරන ලෙස සංවර්ධන කමිටුවේ සභාපතිවරයා කළ දැනුම් දීමක් පිළිබඳව විමසූ අවස්ථාවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා සහ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර සංවාදයයක් හට ගත්තේය.

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“වසර 15ක පමණ කාලයක් තිස්සේ සංචාරක ආකර්ෂණයක් පවතින අනුරාධපුර නුවර වැව වැව් බැම්ම වාහන ගමනාගමනයට අවහිර වන සේ වසා තැබීම නිසා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් එල්ල වී ඇත. එබැවින් වැව් බැම්ම වසා දැමීමට නිශ්චිතව හඳුනාගත් තාක්ෂණික කාරණයක් නොමැති නම් වැව් බැම්ම වසා තැබීම නොකළ යුතු බවත්, එය කඩිනමින් විවෘත කළ යුතු බවත් කමිටු සභාපතිතුමා කමිටුවට පෙන්වා දෙන ලදී.” (පසුගිය කමිටු රැස්වීමේ වාර්තාව උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය)

“අපට වාරිමාර්ග ඉන්ජිනේරුතුමා කියන්නකො බලන්න මොකක් ද තත්ත්වෙ කියලා?”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“මේ සම්බන්ධයෙන් මම වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ කරුණු ඉදිරිපත් කළා. එතුමා මේක පරීක්ෂා කිරීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙසැම්බර් මාසෙ 25 වෙනිදා පැමිණියා. ඇවිල්ලා බලලා ලියුමක් එවල තිබුණා මේක තවදුරටත් විවෘත කරන්න බෑ. නමුත්, සංචාරක කර්මාන්තයට බාධාවක් නොවෙන විදිහට ගේට්ටුවලින් බයිසිකලයක් සහ පයින් යන්න පුළුවන් විදිහට ඉඩක් තියලා අවශ්‍ය කටයුතු කරන්න කියලා. දැනට අපි අවශ්‍ය කටයුතු කරල තියෙනවා.”

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“ඒ කියන්නේ බෑ කියන්න හේතුව මොකක් ද?”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“නුවර වැව, තිසා වැව වගේ ගත්තොත් මේවා අවුරුදු සිය ගණනකින් විතර ප්‍රතිසංස්කරණය කරල නෑ මේ වැව්වල. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉදිරිපත් කරල තියෙන්නෙ දැනට වැව් බැම්ම හරහා යාමේ ඇක්සස් ලබා දීමට අවශ්‍යතාවක් නෑ කියන කාරණය.”

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“ඒක වාරිමාර්ග අධ්‍යක්ෂතුමාට තීරණය කරන්න ඕන නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් ඕන නෑනෙ. අපට කියන්න ඕන මේක. අලුත්වැඩියා කරල නැත්නම් අලුත්වැඩියා කරන්න ඕනෙ. එහෙනම් අපට එන්න ඕනෙ මේව හදල නෑ, ඒක රෙපෙයාර් කරන්න බැරි නිසා යන්න බෑ. එතකොට තියෙනව කාරණයක්, එහෙනම් රෙපෙයාර් කරල අරිමු.”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“මේ වැව් බැම්මේ මුහුණත පළල මදි. අනිත් එක මේකෙ ස්ලෝප් එක ගොඩක් වැඩි යි. ඒ ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට වාහන දෙකක් මාරු වීමේ ගැටලුවක් තියෙනවා. සුළු වශයෙන් ජල කාන්දු තියෙනවා වැව් බැම්මේ.”

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“ඒක වහගෙන ඉඳල මොක ද කරන්නේ?”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“ඒකෙන් වාහන යාමේ අවශ්‍යතාවක් නෑනෙ ඇත්ත වශයෙන් ම.”

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“කවුද ඒක තීරණය කරන්න ඕනෙ? වාහන යාමේ අවශ්‍යතාව තීරණය කරන්න ඕනෙ වාරිමාර්ග අධ්‍යක්ෂතුමා නෙවෙයි. ඕව කැඩුණොත් ආපහු හදන්න තීරණය කරන්න තියෙන්නෙ කාට ද? අපිට ම තමයි. වාරිමාර්ග අධ්‍යක්ෂතුමා තීරණය කරන්න ඕන නම් අපි ඕන නෑනෙ මේක කතා කරන්න. ඒක වැරදියි ඒ ස්ථාවරය.”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“වැව් බැම්ම කඩාගෙන ගියොත් එහෙම සහ හදිසියේ මේක රෙපෙයාර් කර ගන්න බැරි වුණොත් අපිට කරන්න දෙයක් නෑ…. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙන උපදෙස් අනුව තමයි මට කටයුතු කරන්න පුළුවන්.”

සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:

“ඒ කියන්නෙ ඒක තීරණය කරන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද? දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ද? දැන් අපිට මේක යෝජනාවක් ඇවිල්ල තියෙනවා.”

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:

“දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් යෝජනාව ආව නිසා මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට යොමු කළා. නමුත්, වැව් බැම්මෙ ප්‍රශ්න තියෙන නිසා මේක ලබා දීමේ හැකියාවක් නැහැ කියල එවල තියෙනවා. දිස්ක්‍රික් ලේකම්තුමාටත් ඒක යොමු කළා. නමුත් මේ කමිටුව අද දින මේ වැව් බැම්ම විවෘත කරන්න ඉල්ලනවා නම් මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට නැවත ලියල මේකට අවශ්‍ය විශේෂඥ කමිටුවක් දාලා ඇස්තමේන්තුවක් සකස් කරල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන්නම් අවශ්‍ය අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා.”

ජපානයට මරණ ලක්ෂ 3ක් ඉක්මවන භූමිකම්පන වැලක්.!

ජපානයට මරණ ලක්ෂ 3ක් ඉක්මවන භූමිකම්පන වැලක්.!

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉදිරියේදී ජපානයේ ඇතිවිය හැකි භූකම්පන වලින් ලක්ෂ 03ක පමණ පිරිසක් මියයා හැකි බවට ඇස්තමේන්තුගත කර ඇති බවත් ඒ හේතුවෙන් ඩොලර් ට්‍රිලියන 1.8ක් පමණ ආර්ථික විනාශයක් සිදුවිය හැකි බවත් ය.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ ජපානය ලෝකයේ වඩාත්ම භූමිකම්පා අවදානමට ලක්විය හැකි රටවලින් එකක් වන අතර, නන්කායි අගල ලෙස හැඳින්වෙන කම්පන සහගත මුහුදු පත්ල කලාපයක් දිගේ රික්ටර් මාපක 8 සිට 9 දක්වා විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් සඳහා 80%ක සම්භාවිතාවක් ඇති බවයි.

ශීත ඍතුවේ දී රාත්‍රි කාලයේ මෙසේ භූමිකම්පාවක් සිදුවුවහොත් සුනාමි සහ ගොඩනැගිලි කඩා වැටීම්වලින් 298,000ක් පමණ මිය යා හැකි බව එම වාර්තා පෙන්වා දෙයි.

භූ කම්පන වික්‍රියා හේතුවෙන් වසර 100 සිට 150 දක්වා වරක් මෙම භූමිකම්පාවක් ඇති විය හැකියි.

එමෙන්ම 2011 දී රික්ටර් මාපක 9ක භූමිකම්පාවක් ඇති වූ අතර, එමගින් විනාශකාරී සුනාමියක් ඇති වී න්‍යෂ්ටික බලාගාරයක ප්‍රතික්‍රියා හේතුවෙන් 15,000කට අධික පිරිසක් මිය ගියහ.

මියන්මාර ඛේදවාචකය මරණ 2000 ඉක්මවයි.. මිනී දුර්ගන්ධය රට පුරා පැතිරෙයි.!

මියන්මාර ඛේදවාචකය මරණ 2000 ඉක්මවයි.. මිනී දුර්ගන්ධය රට පුරා පැතිරෙයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ මියන්මාර ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දරුණුතම භූකම්පනයෙන් මියගිය ගණන ඊයේ වන විට 2,056 දක්වා ඉහළ ගිය බව එරට හමුදා රජය තහවුරු කර ඇති බවයි.

පසුගිය සිකුරාදා උතුරු මැද මියන්මාරයේ මිලියන 1.5ක ජනතාව පදිංචිව සිටින මැන්ඩලයි නුවර කේන්ද්‍ර කරමින් සිදුවූ රිච්ටර් මාපකයේ 7.7ක අගයකින් යුතු එම භූකම්පනයෙන් තුවාල ලැබූ පිරිස හාරදහසකට ආසන්න බවත්, තවත් පුද්ගලයන් 270ක් ආගිය අතක් නැති බවත් මියන්මාර හමුදා රජය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

සන්නිවේදන පද්ධති බිඳ වැටීම හේතුවෙන් භූ කම්පනයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිස කොපමණදැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවත්, එය දැනට වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු භූ විද්‍යා විශේෂඥවරුන් අනුමාන කර ඇත්තේ භූකම්පනයෙන් මිය ගිය ගණන දසදහස දක්වා ඉහළ යා හැකි බවය.

භූකම්පනය සිදුවී දින 3කට අධික කාලයක් ගත වී ඇති අතර, තවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් කඩා වැටුණු නිවාස හා ගොඩනැඟිලි සුන්බුන් අතර සිරවී සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඔවුන් මුදා ගැනීම කඩිනම් කිරීමට හමුදා සහ ආපදා කළමනාකරණ සේවකයන් දිවා රාත්‍රී අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මැන්ඩලායි නුවර ආසන්නයේ පිහිටි සගේන් නගරයේ සහ ඒ අවට සෙසු නගරවල රෝහල් තුවාලකරුවන්ගෙන් සහ මළ සිරුරුවලින් පිරී ඉතිරී ගොස් ඇති අතර, මළසිරුරවල දුගන්ධය නගර පුරා පැතිරී ගොස් ඇතැයි වාර්තා වේ.

තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වීදි හා මහමාර්ගවල තාවකාලික කූඩාරම් ඉදිකර ප්‍රතිකාර කිරීමට බලධාරීහු පියවර ගෙන තිබේ. තුවාලකරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ ප්‍රමාණවත් නොවන බවත්, යැංගුන් ඇතුළු අවට නගරවල වෙළෙඳපොළේ මළසිරුර බහාලුම්වල මිල ද ඉහළ ගොස් තිබේ.

භූකම්පනයෙන් අවතැන් වූ මැන්ඩලායි නුවර ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 8ක හදිසි ආපදා ආධාර ඉල්ලා ඇත. රටවල් රැසකින් මේ වන විට සහනාධාර ලැබී ඇති අතර, මෙහෙයුම් සඳහා සහාය වීමට විදෙස් හමුදා කණ්ඩායම් රැසක් ද එක්වී සිටින බව වාර්තා වේ.

මැන්ඩලායි නුවර භූකම්පනය අසල්වාසී තායිලන්තයේ බැංකොක් නුවරට ද සැලකිය යුතු හානි සිදු කර තිබූ අතර, භූ කම්පනයත් සමඟ බැංකොක් නුවර ඉදි කරමින් පැවැති මහල් 30කින් සමන්විත ගොඩනැඟිල්ලක් මුළුමනින්ම පොළොවට සමතලා වීමෙන් එහි සිටි ඉදි කිරීම් සේවකයන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

අද සිට බිත්තර සඳහා 18%ක බද්දක්.!

අද සිට බිත්තර සඳහා 18%ක බද්දක්.!

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ බිත්තර සදහා අද (01) සිට 18%ක වැට් බද්දක් අයකරන බවයි.

එම සංගමයේ ලේකම් එච්.එම්.බි.ආර්.අලහකෝන් මහතා පවසන්නේ බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද බිත්තර මිලේ කිසිදු වැඩිවීමක් සිදු නොවන බවයි.

කෙසේවෙතත් බිත්තර අලෙවියෙන් ලබන ආදායම වැට් බද්දට යටත් වන බවත් බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතිහාසයේ පළමුවරට බවත් ඔහු සඳහන් කළේය.

බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ නිසා බිත්තර කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවත් සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

තෙල් මිල අඩුවී නැතිලු.!

තෙල් මිල අඩුවී නැතිලු.!

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන නොමැති බවට දැන්වීම් පළ කර තිබූ අතර තවත් මධ්‍යස්ථාන රැසක පෙට්‍රල් ඉන්ධන පෙර තිබූ මිලට අලෙවි කර ඇති බව දැනගන්නට ඇත.

තම සමාගම් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව පිරවුම්හල් සේවකයන්ගෙන් දැනගන්නට ලැබිණි.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් එම ස්ථානවලින් පෙර පැවති මිලට තෙල් ලබා ගැනීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

(Lankadeepa)