Why is this happening (Sinhala)

ජනපතිට වැඩ වැඩී ඇමතිට පණ මදී.!

ජනපතිට වැඩ වැඩී ඇමතිට පණ මදී.!

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසද් කුලතුංග පවසන්නේ ජනාධිපතිවරයාට පවතින කාර්යබහුල තත්වයත් සමග ඔහුගේ යටතේ පවතින මුදල් අමාත්‍ය ධූරයට අදාළ තින්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් සිදුවන බවත් එම තත්ත්වය මඟහැරීම සඳහා කඩිනමින් තීන්දු තීරණ ගත හැකි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටිය යුතු බවත් ය.

පසුගිය දා පැවැති එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ඒ සඳහා ජනාධිපතිවරයාට විශ්වාසවන්ත නියෝජ්‍ය ඇමතිවරයකුගේ අවශ්‍යතාව පවතින බව පසුගිය දිනවල වාහන ආනයනය සම්බන්ධයෙන් මුහුණ දුන් අත්දැකීම්වලදී තම සංගමයට පෙනී ගිය බවයි.

ඔහු එහිදී තවදුරට ත් සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලබන තීරණවල ප්‍රමාදයක් පවතින බව ත් මේ හේතුවෙන් වාහන ආනයනකරුවන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම ඉතා අසීරු අඩියකට පැමිණ ඇති බව ත් ය.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මෙසේ ද පැවසීය.

“වාහන ආනයනය අවුරුදු පහකට පස්සේ ප්‍රකෘති වුණේ. රට දුවන්නෙ නිලධාරීන්ට වගකීම් දීලා. ඇමතිවරු කිසි ම වගකීමක් දරන්නේ නෑ. ජනාධිපතිතුමා බොහොම කාර්යබහුලයි. නියෝජ්‍ය ඇමතිවරු මේ පිළිබඳව කටයුතු කරන්නේ නෑ.

නිලධාරීන් පරිස්සමින්, හෙමින් වැඩ කරන්නේ. මුදල් අමාත්‍යාංශය හා රේගුවේ ප්‍රශ්න කෙටි කාලයක් තුළ විසඳීමට උත්සාහ කළත් හරි ගියේ නෑ. වාහන වර්ගීකරණය සම්බන්ධයෙන් ලොකු ගැටලු තිබෙනවා. ඒවා නිසා බදු වෙනස් වෙලා තිබෙනවා.

අපි සුබවාදීව බලනවා නම් තව දින කිහිපයකින් ප්‍රශ්න සියල්ල ඉවර වෙලා වාහන ආනයනය නැවත ප්‍රකෘතිමත් වෙයි. ඉදිරියේදී රටක් විදියට හැමදේම හොඳින් වෙන්න ඕනේ. අනිසි කටයුතු වළක්වලා කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා”

මත්පැන් බෝතලයේ වෙනසක්.!

මත්පැන් බෝතලයේ වෙනසක්.!

සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙරට නිෂ්පාදනය කරනු ලබන සියලුම සැර මත්පැන් හා මෘදු මත්පැන් (බෝතල් සහ කෑන්) වල නිෂ්පාදිත දිනය අද (01 වැනිදා) සිට මුද්‍රණය කිරීම අනිවාර්ය බවයි.

ඒ අනුව සියලුම මත්පැන් නිෂ්පාදකයන් අද (01 වැනිදා) සිට මත්පැන් බෝතල් සහ කෑන්වල නිෂ්පාදිත දිනය බෝතලයේ මූඩියට පහළින් හා අලවන ලද ලේබලයට ඉහළින් මුද්‍රණය කළ යුතුය.

කෙසේවෙතත් සුරාබදු වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ මත්පැන් අලෙවිසල්වල අලෙවි කරන මත්පැන්වල ආරක්ෂිත සලකුණු යෙදීමට අදාළව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකර විදෙස් විනිමය වැයකර ඉන්දියාවෙන් ආනයනය කරන ලද ආරක්ෂිත ස්ටිකරයක් මත්පැන් බෝතල්වලට යෙදීමට කටයුතු කර තිබියදීත්, වර්තමාන සුරාබදු කොමසාරිස්වරයාගේ මෙම තීරණය මගින් තහවුරු වන්නේ එම ස්ටිකරය සම්බන්ධව විශ්වාසයක් නොමැති බවයි.

මත්පැන් බෝතල්වල ආරක්ෂිත සලකුණු යෙදීම පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ක්‍රමවේදයක් බැවින් එය කඩ කිරීමට සුරාබදු කොමසාරිස්වරයාට කිසිදු අයිතියක් නොමැති බවත්, නිෂ්පාදිත දිනය මුද්‍රණය කිරීම සඳහා මත්පැන් නිෂ්පාදකයන්ට විශාල වැය බරක් දරා යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට සිදුවන බවද එම වෘත්තීය සමිති වැඩිදුරටත් පවසති.

වසංගතයක්ද රැගෙන පළමු පාසැල් වාරයේ දෙවනි අදියර ඇරඹෙයි.!

වසංගතයක්ද රැගෙන පළමු පාසැල් වාරයේ දෙවනි අදියර ඇරඹෙයි.!

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බවයි.

පළමු පාසල් වාරයේ පළමු වන අදියර පසුගිය 14 වන දින අවසන් වූ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අද (1) දිනයේ විශේෂ නිවාඩුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

මේ අතර මේ දිනවල පැපොල රෝගී තත්ත්වය දරුවන් අතර පැතිර යන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, එවැනි රෝග ලක්ෂණ සහිත ළමුන් සිටින්නේ නම් පාසල් වෙත යැවීම නතර කළ යුතු බවය.

මේ අතර මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් සමග ජලය පානය කිරීම ඉතා වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

තවත් රාජපක්ෂ ලැයිස්තුවක් ජනපති එළියට අදී.!

තවත් රාජපක්ෂ ලැයිස්තුවක් ජනපති එළියට අදී.!

අද (31) බුත්තල ප්‍රදේශයේ පැවති ජන රැළියකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ තවත් රාජපක්ෂවරු සම්බන්ධ ලැයිස්තුවක් අනාවරණය කිරීමට නියමිත බවයි.

පසුගිය මැයි 09 සිදුවීමේදී ගිනිගත් සෙවණගල ප්‍රදේශයේ නිවසකට වන්දි ලබා ගෙන ඇත්තේ එම ඉඩම සහ නිවසේ හිමිකරු නොව රාජපක්ෂවරයෙකු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එහිදී ජනපතිවරයා පැවසූවේ අදාළ වන්දි ගැනීම් පිළිබඳ තවත් තොරතුරු නුදුරේදීම පාර්ලිමේන්තුවේදී හෙළි කරන බවයි.

IOC ඉන්ධන මිලත් බස්සයි.!

IOC ඉන්ධන මිලත් බස්සයි.!

Ceypetco සමාගමේ ඉන්ධන මිල සංශෝධනය දැනුම්දීමෙන් අනතුරුව IOC ඉන්ධන මිලද අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබේ.

ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 299ක් සහ රුපියල් 371ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 361ක් වේ.

මේ අතර, සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුව නැහැ.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල 286ක් ලෙසත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331ක් ලෙසත් භූමිතෙල් ලීටරයට මිල රුපියල් 183ක් ලෙසත් පවතී.

එප්පාවල සංඝ ඝාතකයා ඇල්ලූ මෙහෙයුම.!

එප්පාවල සංඝ ඝාතකයා ඇල්ලූ මෙහෙයුම.!

එප්පාවල රුක් සෙවණ අසපුවේ වැඩ විසූ හිමි නම ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 25 වැනිදා පස්වරුවේ වෙනත් විහාරස්ථානයක හිමිනමක් හදිසි අවශ්‍යතාවක් සඳහා අසපුව වෙත වැඩම කර තිබූ අතර එම අසපුවේ වැඩසිටි 69 හැවිරිදි අසපුවේ විහාරාධිපති හිමියන් සංඝාවාසය අසල මියගොස් සිටිනු උන්වහන්සේ දැක ඇත්තේ ඒ අවස්ථාවේදීය.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්වැසියන් දැනුවත් කර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හා එප්පාවල පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණේය.

ඝාතනයට ලක්ව තිබුණේ විලච්චියේ ප්‍රේමරතන නම් වූ 69 හැවිරිදි හිමිනමකි. උන්වහන්සේගේ උපන් ගම විලච්චිය වුවද මීට වසර දහයකට පමණ පෙර මෙම හිමිනම මෙම ප්‍රදේශයට වැඩමකොට මෙම රුක් සෙවණ අසපුව” ස්ථාපිත කර තිබූ අතර එම අසපුවේ වැඩවාසය කර සිට ඇත්තේ උන්වහන්සේ පමණකි.

මෙම අසපුව ඉදිකිරීම සඳහා කොළඹ ප්‍රදේශයේ දානපතියන් සම්බන්ධ කරගෙන ඇතත් උන්වහන්සේ විහාරස්ථානය අවට කිසිදු පිටස්තරයකු සමග ඇයි හොඳයිකමක් පවත්වාගෙන ගොස් නැත. මේ නිසා මෙම අසපුවට දානයද ගමේ පිරිසගෙන් ලැබී නැත. ගම්වාසීන් කිහිපදෙනකු ඇරෙන්නට වැඩිදෙනෙක් මේ අසපුවට ගොස් නැත. ඒ නිසා දානය පිළියෙල කර ගැනීම සිදුකර ගන්නේද උන්වහන්සේ විසින්මය.

ඝාතනය සම්බන්ධයෙන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළ පොලිස් නිලධාරීන් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාගේ පැමිණීමෙන් පසු හිමිනමගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළේය.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ හිසට එල්ල කළ තදබල පහරක් නිසා උන්වහන්සේ අපවත් වී ඇති බවය. එමෙන්ම උන්වහන්සේගේ ගෙල ප්‍රදේශයේද කිසියම් කැපුම් තුවාලයක් දක්නට ලැබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් උන්වහන්සේගේ මරණය ඝාතනයක් බවට තහවුරු වීමත් සමඟ උන්වහන්සේගේ ඝාතකයා සොයා පොලිස් කණ්ඩායම විමර්ශන ඇරැඹීය.

ඒත් ඝාතකයා සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් පොලිසියට හමුවූයේ නැත. අසපුව අවට පදිංචිකරුවන්ද උන්වහන්සේ සමඟ හෝ අසපුව සමඟ සබඳතාවක් පවත්වා නැති නිසා අසපුවට ආගිය අය හෝ රැඳී සිටි අයවලුන් ගැනද කිසිදු තොරතුරක් පොලිසිය සතු නොවීය.

මෙලෙස දිගින් දිගටම විමර්ශන සිදු කරද්දී එප්පාවල පොලිසියට අපවත් වූ උන්වහන්සේ ගැන තවත් තොරතුරු ලැබුණේය. ඉන් එක් තොරතුරකින් කියැවුණේ උන්වහන්සේ නිතරම උඩමළුව වෙත වඩින බවකි.

මේ අතර උන්වහන්සේ සතුව ත්‍රිරෝද රථය අසපුවේ නොවීම සම්බන්ධයෙන් විමර්ශණ නිලධාරීන්ට සැක මතුවිය. උන්වහන්සේට අයත් ත්‍රිරෝද රිය සොයා විමර්ශන ආරම්භ කළේ ඉන් පසුවය.

සිද්ධියෙන් දවසකට පසු එම රථය එප්පාවල නගරයේ අතහැර දමා ගොස් තිබී සොයා ගැනිණි. වැඩි කාලයක් යන්නට මත්තෙන් විමර්ශන නිලධාරීන්ට තවත් තොරතුරක් ලැබුණේය. ඒ එම ත්‍රිරෝද රිය අලුත්වැඩියාව සඳහා එප්පාවල ප්‍රදේශයේ ගරාජයකට දමා තිබූ බවය. ඒ ත්‍රිරෝද රිය ගරාජයෙන් රැගෙන ගිය පුද්ගලයා කවුරුන්දැයි යන්න දැන ගැනීමට නොහැකිවූ නිසා නිලධාරීන්ගේ එම උත්සාහයද අපතේ ගියේය.

එහෙත් උත්සාහය අත්නොහළ නිලධාරීන් යළි අසපුවටම ගොස් එම අසපුව පිරීක්සමින් තවත් කරුණු කාරණා සොයන්නට වූහ.

පසුව විමර්ශණ නිලධාරීන් අපවත් වූ හිමිනමගේ ජංගම දුරකථනයේ අංකය සොයාගෙන අධිකරණ නියෝග මත ඊට අදාළ දුරකථන විශ්ලේෂණ වාර්තාවක්ද ලබාගෙන දුරකථන කුලුනු හරහා එම දුරකථනය ඇත්තේ කොහේදැයි නව තාක්ෂණ ක්‍රම ඔස්සේ සොයා බැලීය.

එම දුරකථන විශ්ලේෂණ වාර්තාව හොඳින් නිරීක්ෂණය කළ නිලධාරීන් එම දුරකථනයට ආගිය ඇමතුම් සම්බන්ධයෙන් නිරීක්ෂණයක් කළේය. ‘

එහිදී එම දුරකථනයෙන් ලබාගත් ඇමතුමක නොම්මරයක් සොයාගැනීමට විමර්ශකයන් සමත් වූහ.

පසුව නිලධාර්න් ඔහු පදිංචිව සිටින ස්ථානය විමසා වහා මීගමුව ප්‍රදේශයට ගොස් ඔහු හමුවිය. එහිදී සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී සැකකරු මෙසේ පවසා තිබුනි.

“මට ඒ හාමුදුරුවෝ හම්බ වුණේ රුවන්වැලිසෑය ළඟදී සර්”

“තමන්ගේ ගම කොහේද?” නිලධාරියෙක් විමසීය. “මතුරට”

“මතුරට ඉඳන් මෙහාට ආවේ මොකටද?”

“රස්සාවක් සොයාගෙන”

“එහෙම එනකොට ඔය හාමුදුරුවෝ රුවන්වැලිසෑය ළඟ සාස්තර කිය කියා හිටියා. මාත් එතැනට ගියා. හාමුදුරුවෝ මගෙන් විස්තර ඇහැව්වා. මම කිව්වා මට කාත් කවුරුත් නැහැ. රස්සාවක් සොයාගෙන ආවේ කියලා. හාමුදුරුවෝ ඇහැව්වා මොනවද කරන්න දන්නේ කියලා. මම කිව්වා වාහන එළවන්න පුළුවන්. ඒත් මගේ ලයිසන් එක නැතිවෙලා තියෙන්නේ කියලා, ඒ පාර තමයි හාමුදුරුවෝ කිව්වේ මමත් අසපුවක තනියම ඉන්නේ. එහෙ ත්‍රීවීලර් එකක් තියෙනවා. ඒක එළවන්න පුළුවන්ද කියලා. මම කැමැති වුණා. කැමැති වෙලා අසපුවට ගියා. ත්‍රීවීලර් එක ගරාජ් එකක තිබුණේ. හාමුදුරුවෝ මට ඒක අරන් දුන්නා. මම දවස් දෙකතුනක් ත්‍රීවීලර් එකෙන් හාමුදුරුවන්ගේ වැඩ කරලා දුන්නා.”

සැකකරු පැවසීය.

“ඇයි තමුසෙ එහෙම නම් හාමුදුරුවන්ව මැරුවේ”

“මට හාමුදුරුවෝ බැන්නා. ‘කරදර’ කළා. ඒ පාර තමයි මම පොල්ලක් අරන් හාමුදුරුවන්ගේ ඔළුවට ගැහැව්වේ.” සැකකරු නිලධාරීන් ඉදිරියේ කියන්නට විය. ඔහු අසපුව වෙත රැගෙන ගිය නිලධාරීන් හිමිනමට පහරදුන් මුගුර සහ වක් පිහියක්ද ඝාතනය සිදුවූ ස්ථානයට නුදුරින් තිබී සොයා ගත්තේය.

වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ සැකකරු හිමිනම ඝාතනය කිරීමෙන් අනතුරුව අසපුවේ හිමිනම සන්තකයේ තිබී රුපියල් 13,000ක මුදලක්ද සොරාගෙන ගොස් ඇති බව අනාවරණය විය.

එමෙන්ම විහාරාධිපති හිමියන්ගේ හැඳුනුම්පත ඇතුළු වටිනා ලිපිලේඛන කිහිපයක්ද සැකකරු රැගෙන ගොස් තිබූ අතර එම ලේඛන සහ හැඳුනුම්පත අසපුවට කිලෝමීටර් දෙකක් පමණ දුරින් තලාව-එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල කානුවකට දමා තිබියදී සොයාගනු ලැබීය.

26 හැවිරිදි සැකකරු තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්ධන මිල අඩු වෙයි.!

ඉන්ධන මිල අඩු වෙයි.!

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර  එහි නව මිල රුපියල් 361ක් වනු ඇත.

ගෑස් මිල ඉහලට.! [Breaking News]

ගෑස් මිල ඉහලට.! [Breaking News]

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වේ.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 168 වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරයි. 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 4,100 ලෙසත්  කිලෝග්‍රෑම් 5ක ගැසිලින්ඩරයක නව මිල රුපියල් 1,645 බවත් ලාෆ්ස් සමාගම නිවේදනය කරයි

අනේක වද වේදනා දී කුඩා දැරියක් විකෘති ලිංගික අතවරයකට ලක් කළ සාහසිකයෙකුට හිමි වූ දඬුවම.!

අනේක වද වේදනා දී කුඩා දැරියක් විකෘති ලිංගික අතවරයකට ලක් කළ සාහසිකයෙකුට හිමි වූ දඬුවම.!

නව හැවිරිදි දැරියකගේ රහස් ප්‍රදේශය පොල් පිහියකින් කපා ස්ත්‍රී දූෂණයක් කළැයි චෝදනාව ඇතුළු තවත් චෝදනා 5 ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කොට තිබූ අධි චෝදනා 6 කට වරදකරු කළ අයකුට වසර 51ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා එම සිර දඬුවමට අමතරව රුපියල් දාහත් දහසක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ 3 ක වන්දියක් ගෙවීමටද නියම කළේය.

ස්ථිර පදිංචියක් නොමැති විවිධ ප්‍රදේශවලට ගොස් කුලී වැඩ කිරීමේ නිරතව සිටි 39 හැවිරිදි එදිරිසිංහ ආරච්චිලාගේ චන්දන එදිරිසිංහ නොහොත් ශාන්ත නොහොත් නිමල් නම් අන්වර්ථ නාම දෙකකින් පෙනී සිටි අයකුට එලෙසින් දඬුවම් නියම විය.

එම සිරදඬුවම නියම වන අවස්ථාව වන විටත් චූදිත පැදවූ ට්‍රැක්ටර් රථයකට යටවී දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙමින් සිටි ඔහුගේ පුතු පණ පිටින් වළදමා ඝාතනය කළ සිද්ධියකට අදාළව ද පුත්තලම මහාධිකරණයෙන් ඔහුට මරණීය දණ්ඩනය නියම වී තිබිණි. එම නඩුවේ නියෝගය දීමට පෙර විත්තිකරු ඇප මත සිටියදී මෙම අපරාධය සිදුකර තිබිණ.

එම පුත්තලම සිද්ධියෙන් අනතුරුව 2016 වසරේ පන්නල වෙල්පල්ල ප්‍රදේශයට පැමිණ කුලීවැඩ කරමින් සිටියදී බිරිඳට බලපෑම් කර වින්දිත දැරිය බිරිඳ ලවා නිවසින් බැහැරට ගෙන ගොස් පාළු පොල්වත්තකදී කෲර වධ හිංසා පමුණුවා ඇයගේ මුහුණට පහරදී දත් කඩා දමා මෙම අපරාධය සිදුකර තිබූ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එම චෝදනා මෙන්ම බරපතළ අපයෝජනය, ස්ත්‍රී දූෂණය, අපහරණය ඇතුළු චෝදනා 6 ක් පැමිණිලි පාර්ශ්වය සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබීම නිසා මහාධිකරණය මගින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබිණ.

එහිදී සැකකරු වෙනුවෙන් නීතිඥ සහායක් නොතිබීම නිසා රජයෙන් නීතිඥයන් පත් කර තිබිණ. ඒ අනුව චූදිත වෙනුවෙන් පත්කළ නීතිඥයන් වූ නීතිඥ අමල් රණසිංහ හා නන්දික අමරසිංහ යන මහත්වරු පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ මහින්ද සිල්වා මහතා පෙනී සිටියේය.

පන්නල පොලිසියේ සැරයන් එදිරිසිංහ (21307) මහතා පැමිණිල්ල මෙහෙයවීය. වින්දිත දැරිය මේ වනවිටත් පරිවාස භාරයේ පසුවන අතර පරිවාස නිලධාරී ඉන්දික රොෂාන් මහතා ද නඩුව වෙනුවෙන් පෙනී සිටියේය.


(Divaina)

හෙට සිට මුද්දර ගාස්තු 100% වැඩි වෙයි.!

හෙට සිට මුද්දර ගාස්තු 100% වැඩි වෙයි.!

අප්‍රේල් 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දේපල සඳහා කුලී සහ කල්බදු ගිවිසුම්වලට අදාළ මුද්දර ගාස්තුව 100% කින් වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.

2006 වසරෙන් පසු මුද්දර ගාස්තු කාණ්ඩයේ පළමු සංශෝධනය මෙය වීම සුවිශේෂී කරුණකි.

අදාළ ගැසට් නිවේදනයකට අනුව, සංශෝධිත ගාස්තු ව්‍යුහය ලබන මස මුලදී ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව, සම්පූර්ණ කුලී කාලය සඳහා අධිභාරය ඇතුළුව මුළු කල්බදු හෝ කුලී ගිවිසුමේ සෑම රුපියල් 1,000 ක් හෝ එහි කොටසකටම මුද්දර ගාස්තුව රුපියල් 10 සිට 20 දක්වා වැඩිකෙරේ.