ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නැමැත්තාට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියට අදාළව සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී ඇත.
අල්ලස් කොමිසම අද (16) දින මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වෙත මේ බව දැනුම් දී ඇත.
2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනත යටතේ අදාළ දේපළ අත්හිටුවීමට පියවර ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි.
එහි දෙවන සැකකරු වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් හතරක් මීට පෙර මහාධිකරණය විසින් තහනම් කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
තෙවන සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංගගේ බිරිඳට සහ පියාට අයත් වාහන දෙකක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු සැකකරු ලෙස චරිත් අබේසිංහ, දෙවන සැකකරු ලෙස රඛිත රාජපක්ෂ, තෙවන සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග නම් කර ඇත.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන (08) වැනිදා යළි කැඳවීමට නියම කළේය.
