ලෝකයෙන්ම ඉහළ තැනක්.. කොළඹ වරායේ ප්‍රතිඅපනයන 10%කින් ඉහළට

පසුගිය 2025 වසරේ පළමු මාස 10ට සාපේක්ෂව මෙම 2026 වසරේ මුල් මාස 10 තුළ කොළඹ වරායේ ප්‍රතිඅපනයන වල 10%ක වර්ධනයක් අත්කරගෙන ඇති බව වරාය අධිකාරිය සඳහන් කරයි.

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ හැසිරවූ කන්ටේනර් ප්‍රමාණය, මෙම වසරේ මුල් මාස 10හි දත්ත සමග සංසන්දනය කිරීමෙන් මෙම වර්ධනය ගණනය කර ඇති අතර පසුගිය වසරේ මුල් මාස 10 තුළ කොළඹ වරාය හරහා ප්‍රතිඅපනයනය කර ඇති බහාලුම් ඒකක සංඛ්‍යාව 5,825,909කි.

මෙම වසරේ එම කාලසීමාව තුළ එය කන්ටේනර් ඒකක 580,454කින් ඉහළ ගොස් ඇති අතර මෙවර ප්‍රතිඅපනයනය කරන ලද සමස්ත කන්ටේනර් සංඛ්‍යාව 6,406,363ක් දක්වා වර්ධනය වී ඇත.

පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී හැසිරවූ කන්ටේනර් ඒකක 620,830 සංසන්දනය කිරීමේදී, මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රතිඅපනයනය කරන ලද කන්ටේනර් සංඛ්‍යාව 680,125ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට වඩා කන්ටේනර් ඒකක 59,295ක වැඩිවීමක් වන අතර ප්‍රතිශතයක් ලෙස 9.6%ක වර්ධනයකි.

කන්ටේනර් ප්‍රතිඅපනයනයේ අඛණ්ඩ වර්ධනය හේතුවෙන් ජාත්‍යන්තර ‘ඇල්ෆාලයිනර්’ ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2026 වසරේ පළමු භාගය තුළ ලොව කාර්යබහුලම වරාය අතරින් 20 වැනි ස්ථානය කොළඹ වරායට හිමිව ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel