ශ්‍රී ලංකාව තුළ දෛනිකව ජනනය වන ඝන අපද්‍රව්‍ය වලින් 50% – 60%ක ප්‍රමාණයක් ජෛව හායනය වන කාබනික ද්‍රව්‍යවලින් සමන්විත වන බවත්, එම කසළ නිවෙස්වලදීම කොම්පෝස්ට් බවට පත් කිරීම මඟින් කසළ එකතු කිරීම, ප්‍රවාහනය කිරීම, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම හා අවසන් බැහැර කිරීම සඳහා දරනු ලබන මූල්‍ය හා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අඩුකර ගත හැකි බවත් හඳුනාගනු ලැබ ඇත.
එබැවින්, කසළ ජනනයේ සිට අවසන් බැහැර කිරීම දක්වා ආවරණය වන පරිදි තිරසර විසඳුමක් වශයෙන් 2027-2029 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ‘ක්ලීන් ශ්‍රී ලංකා – පිවිතුරු පුරවර’ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය යටතේ, එහි එක් සංරචකයක් ලෙස ගෘහස්ථව ජනනය වන දිරන කසළ කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
සියලුම පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි එම ආයතන විසින් තෝරා ගත් වීථි කොටස් කාබනික කසළ එකතු කිරීමේ සේවාවන් සැපයීමෙන් තොර කලාප බවට පත් කිරීම සඳහා අදාළ නිවාස ඒකක වෙත ගෘහස්ථ කොම්පෝස්ට් බඳුන් ලබාදී, දිරන කසළ එම නිවාස පරිශ්‍ර තුළම කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම එමඟින් සිදු කෙරෙනු ඇත.
කසළ කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය භෞතික පහසුකම (කොම්පෝස්ට් බඳුන), දැනුම හා තාක්ෂණික මග පෙන්වීම, සියලුම පළාත් පාලන ආයතනවල අධීක්ෂණය සහ ගෘහස්ථ මට්ටමේ අඛණ්ඩ භාවිතය එකම ක්‍රියාකාරී පද්ධතියක් තුළ සම්බන්ධ කිරීමට මෙම මැදිහත් වීම මඟින් අපේක්ෂා කෙරේ.
ඒ අනුව, ‘ක්ලීන් ශ්‍රී ලංකා – පිවිතුරු පුරවර’ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තුන් අවුරුදු ව්‍යාපෘතියේ එක් ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි ගෘහස්ථ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත පදනම්ව එකී ව්‍යාපෘතිය අනෙකුත් පළාත්වලට ව්‍යාප්ත කිරීමටත්, ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
