
දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගිය සිකුරාදා රාත්‍රියේ තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිදුවීමට අදාළ වෙඩික්කරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
එම වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
ඝාතනය සඳහා තිදෙනෙක් වෑන් රථයකින් පැමිණ තිබූ අතර දෙදෙනෙක් ඉන් බැස මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව CCTV දර්ශන ඔස්සේ අනාවරණය විය.
වෙඩික්කරුවන්ට තරුණයන් දෙදෙනා පිළිබඳ තොරතුරු ලබාදී ඇත්තේ ඔවුන් සමඟ එකට සිටිනා මිතුරෙකු බව පොලීසිය සැක පළකරයි.
ඝාතනය වූ ස්ථානයට මීටර 800ක් පමණ දුරින් වූ අතුරු මාර්ගයක ගිනිතබා තිබියදී සොයාගත් වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය සම්බන්ධයෙන්ද මේ වන විට පොලිසිය තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.
එම වෑන් රථය ප්‍රසිද්ධ දුරකථන සේවා සමාගමක ස්ටිකර්වලින් සරසා තිබුණි.
මෙම වෑන් රථයට සමාන වෑන් රථයක් ඝාතනයට ලක්වූ තරුණයක් දෙදෙනා මීට පෙර තවත් තරුණයන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වන ස්ථානයක පිටුපස නවත්වා තිබෙන අයුරු දැක්වෙන රූප රාමු පෙළක් මාධ්‍යට නිකුත් කර ඇත.
මේ හේතුවෙන් අදාළ වෑන් රථය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනාගෙන් පොලීසිය මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර ඔවුන් ගෙන්ද සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් තරුණයන් දෙදෙනාගේ සමීපතමයෙක් වන අතර ඔහු වෑන් රථයේ ස්ටිකර් අලවා තිබූ ප්‍රසිද්ධ දුරකථන සමාගමේ රැකියාවේ නියුතු අයෙකි.
අදාළ වෑන් රථය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් බවට සැකකරන පුද්ගලයාගේ 30 හැවිරිදි බිරිඳ වන අතර ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ඝාතනයට ආධාර අනුබල දීම යටතේයි.
මෙම ඝාතනය මෙහෙය වූ බව කියන දෙහිගෙදර බාලේ නැමැත්තාගේ ඥාතියෙකුද අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු 46 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වෙයි.
සිව්වැනි සැකකරු වෙඩික්කරුවන්ට නවාතැන් සැපයීම සම්බන්ධයෙන් කපුගම ප්‍රෙද්ශයේදි අත්අඩංගුවට ගත් අයකු වන අතර ඔහු බාලේ මල්ලි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට සිට මෙහෙයවන පුද්ගලයා බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල සහ මාතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.