
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) පවසන්නේ ඉදිරියේදී රියදුරන්ට Govpay හරහා රථවාහන දඩ ගෙවීමට කටයුතු සිදුකරමින් පවතින බවයි.
රජයේ ගෙවීම් සඳහා වන නිල මාර්ගගත වේදිකාවක් වන Govpay, මේ වනවිටත් බදු, දඩ හා උපයෝගිතා බිල්පත් වැනි සේවා සඳහා සක්‍රීයව පවතී.
එය ආරම්භ කළ දා සිට, මේ වනවිට Govpay වේදිකාව රජයේ ආයතන 25ක ගෙවීම් සඳහා ව්‍යාප්ත වී ඇති අතර, තවත් ආයතන එම වේදිකාව වෙතට එක් වෙමින් පවතී.
(ICTA) පවසන්නේ මෙම නව පියවර රියදුරන්ට රථවාහන දඩ ගෙවීම සඳහා පහසු, කාර්යක්ෂම ක්‍රමයක් වනු ඇති බවත් එය රජයේ ගෙවීම් ක්‍රමවේදය ඩිජිටල්කරණය කිරීමේ දිගුකාලීන උත්සාහයේ තවත් ඉදිරි පියවරක් වනු ඇති බවත් ය.
වර්තමාන තත්වය අනුව රථවාහන දඩ ගෙවීම අදාළ පොලිස් බල ප්‍රදේශයේ තැපැල් කාර්යාලය ඔස්සේ පත්‍රිකා පිරවීම මගින් සිදුකළ යුතුවූ අතර මේ නිසා සුළු වරදකටත් රස්තියාදුවීමට සිදුවීම ගැන රියදුරන්ගේ මැසිවිලි නිතර ඉදිරිපත් වුනි.
Govpay වේදිකාව හරහා රියදුරන්ට ඔවුන්ගේ ජංගම දුරකථන, පරිගණක හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කරමින් ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට රථවාහන දඩ ගෙවීමට හැකි වනු ඇත.
මූලික අදියරේදී පොලිසිය රඳවා ගන්නා බලපත්‍ර පොලිසියට ගොස් ලබාගත යුතුවනු ඇති නමුත් ඉදිරියේදී වාහන බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමෙන් පසු දඩ ගෙවීම හා බලපත්‍රය සක්‍රීය කරගැනීමද අන්තර්ජාලය තුළින්ම කරගත හැකිවනු ඇත.