Out of the box

සජබ බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

සජබ බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට බලය හිමි මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු විසින් ඊයේ (19) දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ අත්හිටුවීම සිදුකර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම ප්‍රාදේශීය සභාව මඟින් ජනතාවට ඉටුවිය යුතු සේවාවන් නිසි පරිදි ඉටු නොවීම සහ දිට්වා ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන නිසි පරිදි භාවිත නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව, පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සභිකයින් ප්‍රාදේශීය සභා පනත යටතේ වරදක් සිදුකර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ පත්කර ඇත.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්යයන් ඉටුකිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා පත්කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නාමල්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

නාමල්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින සංජය සමරසිංහ නමැත්තා අද (19) රාත්‍රියේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය.

අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමෙන් අනතුරුව සංජය සමරසිංහ නමැත්තා අත්අඩංගුවට ගත් අතර ඔහු හෙට (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අල්ලස් කොමිසමට ලද තොරතුරකට අනුව ඉකුත් සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.00ට පමණ එහි විමර්ශන නිලධාරින් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි ඔහුගේ නිවසක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

ඔහු සම්බන්ධයෙන් එම කොමිසම සතුව ඇති ලිපි ගොනුවකට අදාළව මෙම සෝදිසි මෙහෙයුම දියත් කළ අතර අනතුරුව නිවසේ තිබී සේප්පුවක් විමර්ශන නිලධාරින් භාරයට ගැනුණි.

දින කිහිපයක විදුලි කප්පාදුවක්.. කපන වේලාවන් මෙන්න

දින කිහිපයක විදුලි කප්පාදුවක්.. කපන වේලාවන් මෙන්න

අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව සියලුම කලාප 04කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්‍රී 9.00 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතය.

එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි යථා තත්ත්වයට පත් කරන වේලාවන් සහ කලාප පහතින්.

ශ්‍රී ලාංකික කාන්තාවක් උඩුගුවනේදී දරුවෙක් ප්‍රසූත කරයි

ශ්‍රී ලාංකික කාන්තාවක් උඩුගුවනේදී දරුවෙක් ප්‍රසූත කරයි

අද (19) දින කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇත.

එම කාන්තාව අද (19) අලුයම 2.52ට කුවේට් ගුවන් තොටුපොළේ සිට J9-551 දරන ගුවන් යානයෙන් කටුනායක බලා පැමිණෙමින් සිටියදී මෙම දරු ප්‍රසූතිය සිදුව ඇත.

ගුවන් යානය තුළදී ගුවන් සේවිකාවන්ගේ සහාය ඇතිව දරු ප්‍රසූතිය සිදුකර ඇති අතර එය කිසිදු සංකූලතාවකින් තොරව සිදුව ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් එලෙස දරුවෙකු ප්‍රසූත කර ඇති අතර ඇය 2024 වසරේදී ගෘහ සේවය සඳහා කුවේට් රාජ්‍යයට ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, ගුවන් යානය ගොඩබැස්වීමට පෙරම ගිලන් රථයක්, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයක් සූදානම් කර තැබීමට පියවර ගෙන ඇත.

දරු ප්‍රසූතියෙන් පසු මව සහ බිළිඳා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කර ඇති අතර ඔවුන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තොරතුරු වාර්තා වේ.

ගුවන් ගමනට සහභාගී වීමේදී ගර්භණීභාවය සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවයේ නියමයන් සහ වෛද්‍ය උපදෙස් සැලකිල්ලට ගත යුතු පසුබිමක, අදාළ කාන්තාව සිය ගර්භණීභාවය ගුවන් සේවා නිලධාරීන්ගෙන් සඟවාගෙන සිටි බවට තොරතුරු වාර්තා වේ.

ආසන පටි නීතිය කඩ කළ අයට වැඩ වරදී

ආසන පටි නීතිය කඩ කළ අයට වැඩ වරදී

අධිවේගී මාර්ගයේ ආසනපටි නීතිය කඩ කළ පුද්ගලයින් රැසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව අධිවේගී මාර්ගයේ ආසනපටි නීතිය කඩ කළ පුද්ගලයින් 5200කට ආසන්න පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට බොහෝ පිරිසක් ආසන පටි නීතියට අනුගතවී ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

මාස 9ට අමෙරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවු ආදායමක්

මාස 9ට අමෙරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවු ආදායමක්

මෙම වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය තුළ සංචාරක ආදායමෙන් මෙරට අමෙරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවූ ආදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ගතවූ මාස 9ක කාලය තුළ ලබා ඇති සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,245.2ක් වන අතර පසුගිය 2025 වසරේ එම කාලය සාපේක්ෂව සංසන්දනය කළ විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇතැයි මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.

මෙම 2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය තුළ මෙරටට සංචාරකයින් 1,693,679ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් එම ආදායම උපයාගෙන ඇත.

පසුගිය 2025 වසරේදී ගතවූ මාස 9ක කාලය තුළදී සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,472.9ක් උපයා ඇත.

ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් 4ක් 

ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් 4ක් 

Conde Nast Traveller සඟරාව මගින් ප්‍රකාශයට පත් කළ පාඨක තේරීම් අනුව ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් 4ක් තේරී පත්ව ඇත.

01 වන ස්ථානය – ආරුගම් බේ වෙරළ තීරය (Arugam Bay Beach)

09 වන ස්ථානය – බෙන්තොට වෙරළ තීරය (Bentota Beach)

14 වන ස්ථානය – තංගල්ල වෙරළ තීරය (Tangalle Beach)

19 වන ස්ථානය – මීගමුව වෙරළ තීරය (Negombo Beach)

ශ්‍රී ලංකාවේ හොඳම හෝටල්, රට පුරා පිහිටි සුඛෝපභෝගී නවාතැන්, පරිසර හිතකාමී නවාතැන් සහ උරුමයන් සහිත ස්ථාන මෙහිදී ඉස්මතු කර පෙන්වයි.

ඥනසාර හිමිගේ සිවුර ගැලවීමට රජය සමාව අයැද සිටිය යුතුයි

ඥනසාර හිමිගේ සිවුර ගැලවීමට රජය සමාව අයැද සිටිය යුතුයි

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සිවුර ගලවා ඉවත් කිරීම පිළිබඳව රජය විසින් සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටීම කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටි යුතු ඇඳුම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල දැනටමත් පැහැදිලිවම සඳහන් බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මේක තමයි ආණ්ඩුව.. තව වාර ගොඩක් තියෙනවා

මේක තමයි ආණ්ඩුව.. තව වාර ගොඩක් තියෙනවා

මේ ආණ්ඩුව රට ගොඩනගන බවත් මේ ආණ්ඩුව දරුවන්ගේ අනාගතය හදන බවත් මේ ආණ්ඩුව දූෂිතයින්ට දඬුවම් දෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“මතක තබාගන්න මේ රටේ ජනතාව තමයි මේ ආණ්ඩුව රකින්නෙත්, මේ ආණ්ඩුව ගෙනාවෙත්. එනිසා අපි හැම වෙලාවේම මේ ජනතාව එක්ක ඉන්නේ. අපි ගන්න හැම තීන්දුවක්ම කුඩා කුඩා කල්ලි වල ඕනකමට මේ ආණ්ඩුව නටවන්නත් බෑ. නැටවෙන්නෙත් නෑ.

ගන්නෙත් නෑ එහෙම තීන්දු. මේ ආණ්ඩුව හැම වෙලාවේම තීන්දු ගන්නේ මේ පොදු ජනතාව වෙනුවෙන්. එනිසා අපි හිතනවා විශාල කඩඉමකට ඇවිල්ලා තියෙනවා. ලොකු හැරවුවමකට ඇවිල්ලා තියෙනවා. අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙනවා.

තව අවුරුදු තුනක් තියෙනවා. තව වාර ගොඩක් තියෙනවා. මතක තියාගන්න තව වාර ගොඩක් තියෙනවා. නැද්ද. තව වාර නැද්ද. තව වාර ගොඩක් තියෙනවා. මේ ආණ්ඩුව තමයි රට ගොඩනගන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි අපේ දරුවන්ගේ අනාගතය හදන ආණ්ඩුව.

මේ ආණ්ඩුව තමයි රටේ ජාතික සමගිය හදන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි ඕනෑම අර්බුදයකට ඔරොත්තු දෙන්න පුළුවන් ආර්ථිකයක් හදන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි නීතිය විධානය ආධිපත්‍යය තහවුරු කරන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි දූෂණයෙන් තොර පාලනයක් හදන ආණ්ඩුව.

මේ ආණ්ඩුව තමයි දූෂිතයින්ට දඬුවම් දෙන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි ජාත්‍යන්තරයේ අපේ රටේ බැබළෙන දිදුලන රටක් බවට පත් කරන ආණ්ඩුව. මේ ආණ්ඩුව අවුරුදු දෙකයි රටට සුබයි. අපි හැමදෙනාම ඒ වෙනුවෙන් එකතු වෙමු.”

පරණ මිතුරන් හමුවීමට යන රනිල්

පරණ මිතුරන් හමුවීමට යන රනිල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන (23) වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලය වෙත ⁣යාමට නියමිත බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට එරෙහිව කැඳවා තිබෙන සාකච්ඡාවට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කාර්යාලය වෙත යාමට නියමිතය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයට රනිල් වික්‍රමසිංහ මෙලෙස පැමිණෙන්නේ ප්‍රථම වතාවට වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.

Follow WhatsApp Channel