ලෝකය පුරාම ජනප්‍රිය ‘ෆියෝනා’ තොප්පියක් නිසා මියයයි

ලොව පුරා ජනප්‍රියත්වයට පත් ‘ෆියෝනා’ (Fiona) නම් හිපපොටේමස් සත්වයා මියගොස් ඇත.

අමෙරිකාවේ සින්සිනාටි සත්වෝද්‍යානයේ රඳවා සිටි කුටිය තුළට වැටුණු ගෙතූ තොප්පියක් ගිල දැමීමෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම සත්වයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆියෝනා බේරා ගැනීම සඳහා පශු වෛද්‍යවරුන් සහ සත්ව භාරකරුවන් දැඩි උත්සාහයක නිරත වී තිබුණද එම උත්සාහයන් සාර්ථක වී නොමැති බව සත්වෝද්‍යානය සඳහන් කර ඇත.

බර කිලෝග්‍රෑම් 1,113ක් බැවින් ශල්‍යකර්මයක් සිදු කිරීම අධික අවදානම් සහගත තත්ත්වයක් වීමෙන්, ඒ වෙනුවට ගිල දැමූ තොප්පිය ස්වභාවිකව ආහාර ජීර්ණ පද්ධතිය හරහා පිටතට ගැනීමට විකල්ප ප්‍රතිකාර ක්‍රම අනුගමනය කර ඇත.

තොප්පිය ආහාර ජීර්ණ පද්ධතිය හරහා පිටතට ගෙන ඒම සඳහා සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය විවිධ ප්‍රතිකාර ක්‍රම අත්හදා බලා ඇති අතර අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණ, අඩි නවයක් පමණ දිගැති කොලොනොස්කොපි උපකරණයක් සහ කම්පන තලයක් (Vibration Plate) භාවිත කිරීම ද ඇතුළත් විය.

එහෙත් එම සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති අතර අවසානයේදී ෆියෝනාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.

මෙම සත්වයාගේ මරණය පිළිබඳ පුවත සැලවීමත් සමඟ සත්වෝද්‍යානය වෙත පැමිණි රසිකයන් හිපපොටේමස් ප්‍රතිමාවක් අසල මල් සහ ශෝක පණිවිඩ තබා සිය ශෝකය පළ කර ඇත.

මෙම සත්වෝද්‍යානයට පැමිණි අමුත්තෙකු විසින් ඉහළට විසි කළ තොප්පියක් සිවිලිමේ විදුලි පංකාවක වැදී ෆියෝනා රඳවා සිටි කුටිය තුළට වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel