සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ‘ගම්පහ ඔස්මන්’ හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත්‍රයා විසින් ගොනුකළ තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය බාල පටබැඳීගේ යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කර ඇත.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසට සැප්තැම්බර් මස (03) වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසට නියෝග කර ඇත.
ෂෙහාන් ගුණසේකර විසින් ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු පිරිසක් නම් කර ඇති අතර නීතිඥ අමිල කුමාරගේ මාර්ගයෙන් මෙම පෙත්සම ගොනුකර ඇත.
පසුගිය මැයි (13) වනදා දින තම පියාගේ නිවස සෝදිසි කොට ගිනිඅවි දෙකක් සොයාගත් බවත් එම ගිනි අවිවලට නීතියානුකූල බලපත්‍ර තිබූ බවත් එහෙත් නීතිවිරෝධිව අවි තබාගත් බවට මාධ්‍ය මගින් වැරදි ප්‍රචාරයක් ගෙන ගිය බව පෙත්සම්කරු සඳහන් කරයි.
අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස තමන්ට දැනුම් දීමක් සිදුකර ඇති බවත් තමන් අවස්ථා කිහිපයකදීම එම කොට්ඨාශයට ගොස් ප්‍රකාශ ලබාදුන් බවද පෙත්සම්කරු සඳහන් කරයි.
එහිදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ තායිලන්තයේ සිටියදී ඔහු හා සම්බන්ධතා පවත්වා තිබේදැයි තමාගෙන් ප්‍රශ්න කළ බවද පෙත්සම්කරු සඳහන් කරයි.
එනිසා මෙම තත්ත්වය යටතේ තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා ඇත.
මේ අතර ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධව ‘ගම්පහ ඔස්මන්’ හෙවත් ඔස්මන් ගුණසේකර අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරයි.
