හෝමාගම පොලිස් ස්ථානය අත්අඩංගුවට ගත් සැකකරුවෙක් හදිසියේම මියයාමේ සිද්ධිය සම්බන්ධව නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරී පැහැර හැරීම මත, හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස්පතිවරයා නිවේදනය කරයි.
ඒ අනුව, මෙම වගකීම් විරහිත සහ දුර්වල අධීක්ෂණ ක්රියාකලාපය හේතුවෙන් හෝමාගම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.ආර්.එස්. ප්රජාන් සේනානායකගේ රාජකාරී වැඩ තහනම ඊයේ (28) දින සිට ක්රියාත්මක වන පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇත.
සැකකරු සිරමැදිරියේ රඳවා තැබීමේදී ඔහු පිළිබඳව සොයා බලා විමර්ශන නිලධාරීන්ට ඉදිරි කටයුතු සඳහා නිසි උපදෙස් ලබාදී නොමැති වීම, සැකකරුගේ තත්ත්වය නිසි ලෙස පරීක්ෂා නොකිරීම සහ අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් නිවැරදිව යොදා ඇද්දැයි අධ්යයනය කරමින් නිසි අධීක්ෂණයක් නොකිරීම යන චෝදනා මත මෙම පියවර ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අතින් බරපතළ රාජකාරී පැහැර හැරීම් සිදුව ඇති බව අනාවරණය වී ඇත.
පසුගිය (25) වැනිදා හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව පසුගිය (26) වනදා සිට ක්රියාත්මක වනපරිදි හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත්තේය.
