දිවයින පුරා ගෑස් බෙදා හැරීම් තවදුරටත් ශක්තිමත් කරමින් එළැඹෙන (27) වැනි දින වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතාව සැලකිල්ලට ගනිමින් පසුගිය (22) වැනි දින ළඟා වූ නෞකාවට අමතරව ඊයේ (24) දින GOODWILL නෞකාව මගින් ගෑස් මෙට්රික් ටොන් 3,900ක් දිවයිනට රැගෙන ආ බව එම සමාගම සඳහන් කරයි.
තවද, හෙට (26) දිනයේ ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් ඒ අනුව ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් වෙළෙඳපොළට බෙදා හරිනු ඇති බවද එම සමාගම සඳහන් කරයි.
පසුගිය (22) වැනි දින මෙරටට ළඟා වූ මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගය රැගත් නෞකාවෙන් ගෑස් සිලින්ඩර 350,000ක් පසුගිය (23), (24), සහ අද (25) දිනයේද අඛණ්ඩව බෙදා හරින බවද එම සමාගම සඳහන් කරයි.
එබැවින් ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගිකයින් හට ගෘහස්ත ගෑස් කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබාගත හැකි බවද එම සමාගම සඳහන් කරයි.
