වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී මත්තල ගුවන්තොටුපොළ මේ වනවිට දිනකට රුපියල් මිලියන 6-7ත් අතර එනම් වසරකට රුපියල් බිලියන 4ක පමණ අලාභයක් ලබන බව අනාවරණය විය.
මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා විකල්ප යෝජනා මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර මේ යටතේ මත්තල ගුවන්තොටුපොළ සඳහා ආයෝජන යෝජනා මේවන විට කැඳවා ඇති බවත් වසර 2027 වනවිට ඊට අදාළ කටයුතු අවසන් කළ හැකි බවද සඳහන් කළේය.
තවද, මෙහිදී හිඟුරක්ගොඩ ඇතුළු අභ්‍යන්තර ගුවන්තොටුපොළවල සංවර්ධන කටයුතු වල වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළේය.
එම ගුවන්තොටුපොළවල සිවිල් මගී මෙහෙයුම් සිදු කිරීමේදී ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණය කරමින් වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කිරීමටත්, එක් එක් ගුවන් තොටුපොළවල අවශ්‍යතාව පිළිබඳ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ සමාලෝචනයක් සිදුකර ඒ පිළිබඳ ඇගයීම් වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
මේ අතර යාපනය ගුවන්තොටුපොළ මගී පර්යන්තය නවීකරණය කර එහි පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණි.
ආයතන සතු මූල්‍ය ශක්තිය භාවිත කරමින් සහ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල් කළමනාකරණය කරමින්, ජනතා බදු මුදල් වලට බරක් නොවන ලෙස රාජ්‍ය භාණ්ඩාගාරයට උපරිම දායකත්වයක් ලබාදීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
