“උණු වතුර ස්නානය – කොස්ස සැඟවීම – මුහුණට පහරදීම” අමුතු නත්තල් චාරිත්‍ර.!

අසිරිමත් නත්තල් සිරියෙන් ලෝකයම හැඩ ගැන්වෙන මේ කාලයේ ලොව පුරා කිතුනුවෝ බොහෝ දෙනෙක් චාරිත්‍රානුකූලව නත්තල් උත්සවය සමරති.

නත්තල් දිනය වෙනුවෙන් ලොව පුරා කිතුනුවෝ ඉටු කරන පොදු සිරිත්වලින් වෙනස් වූ අමුතු කටයුතු සිදු කරන කිතුනුවෝද අපට දැක ගත හැකි අතර ඒවා රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වූ නත්තල් සිරිත් ලෙසද හඳුනා ගත හැකිය.

උණු වතුර ස්නානය – පින්ලන්තය

ජනතාව නත්තල් සැමරීමට උණු වතුර ස්නානය නම් චාරිත්‍රයක් සිදු කරයි. ඒ සදහා ඔවුන් උණුසුම් ජල තටාක සහ උණුසුම් ජල වාෂ්ප සහිත කුටීර සකස් කර ගනිති. උණු ජලය නෑමෙන් සහ උණු ජල වාෂ්පයට සිරුර නිරාවරණය කර ගැනීමෙන් ශරීරය මෙන්ම සිතද සැහැල්ලු වන බව ඔවුන්ගේ විශ්වාසයයි. නත්තල් දිනයේ සිදු කරන ආගමික කටයුතු සැහැල්ලු සිතින් කර ගැනීමට මෙම චාරිත්‍රය උපකාරී වන බව මෙම චාරිත්‍රය ඉටු කරන පින්ලන්ත වැසියන්ගේ අදහසයි.

කොසු සැඟවීම – නෝර්වේ

පැරණි ජනප්‍රවාදයන්ට අනුව නත්තල් කාලයේදී නපුරු ආත්මයන්ගෙන් සහ මායාකාරියන්ගේ බලපෑම්වලින් නිවෙස් ආරක්ෂා කර ගැනීම සදහා එදිනෙදා නිවෙස පිරිසිදු කෙරෙන කොස්ස සැඟවීමට නෝර්වේ වැසියෝ කටයුතු කරති. අනතුරුව නිවසේ දොර ජනෙල් කවුළු මෙන්ම උඳුන් කවුළුද වසා දැමීමට ඔවුහු කටයුතු කරති. නිවසේ සිදුරු තුළින් පැමිණෙන නපුරු ආත්ම අපිරිසිදු කොසු මත සැඟවෙන බවත් නපුරු මායාකාරියන් කොසුවල නැගී තම නිවසට පැමිණෙන බවත් ඔවුන්ගේ විශ්වාසයයි. නත්තල් කාලයෙන් අනතුරුව ඔවුන් විසින් සැඟ වූ පරණ කොසු, ගසක් පාමුල තබා කඩා දැමීමට ද ඔවුහු කටයුතු කරති.

වෙස් මුහුණට පහරදීම – ස්පාඤ්ඤය

කැටලෝනි වැසියෝ නත්තල් සැමරීමට අපූරු චාරිත්‍රයක් සිදු කරති. ඔවුහු ගසක කොටයක් ගෙන එහි මිනිස් මුහුණක් ඇඳ එය වෙස් මුහුණක් ආකාරයෙන් කපා ගනිති. එයට නත්තල් හිස් වැසුමක් පැලඳවීමට ඔවුහු කටයුතු කරති. අනතුරුව එම වෙස් මුහුණෙහි කට ප්‍රදේශය සිදුරු කර නත්තල් සමය පුරාවට ඊට ආහාර ඇතුල් කිරීම සිදු කරයි. නත්තල් දිනය උදා වෙත්ම ඔවුහු දවස පුරා ගී ගයමින් නටමින් සිදුරට ඇතුල් කළ ආහාර පිටතට පැමිණෙන තුරු එම කොටයට පහර දෙයි.

රෝද කරත්තයෙන් පල්ලියට – වෙනිසියුලාව

කැරාකස් නුවර වැසියෝ නත්තල් දින රාත්‍රි දේව මෙහෙය වෙනුවෙන් පල්ලියට ගමන් කරන්නේ අපූරු වාහනයකිනි. රෝද සවි කළ පාවහන් මතින් ඔවුහු පල්ලියට ගමන් කරති. බොහෝ කලක සිට මෙසේ රෝද කරත්තයෙන් පල්ලියට ගමන් කරන එ නුවර වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නගරයේ වීදි පවා නත්තල් දින රාත්‍රියේ වසා දමයි.

බෝට්ටු සැරසීම – ග්‍රීසිය

නත්තල් උත්සවය වෙනුවෙන් ග්‍රීසියේ වෙරළ ආශ්‍රිත බෝට්ටු සහ ගස් සැරසීමට ග්‍රීක වැසියෝ කටයුතු කරති. පුරාතන ග්‍රීසියේ පළමු නත්තල් ගස තබා ඇත්තේ බෝට්ටුවක් අසල බැවින් එය සිහි කිරීමට මෙම චාරිත්‍රය සිදු කෙරෙයි. ධිවර කර්මාන්තය සිදු කරන ධීවරයන්ගේ භාර්යාවන් විසින් මෙම සැරසීම සිදු කරනු ලබයි. නත්තල් දිනයට පෙර මුහුදු ගොස් ගොඩබිමට පැමිණෙන ධීවර සැමියන්ට නත්තල් සුබ පැතුම් පිරිනැමීමද මෙම චාරිත්‍රයේ එක් අරමුණක් වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.