මෙරට ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක, රියදුරු සහ කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කර බලා නීතිමය පියවර ගැනීම සඳහා ආරම්භ කර ඇති ජංගම මත් පරීක්ෂණ වැඩසටහන මුළු දිවයින ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සඳහන් කරයි.
පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතන පද්ධතිය මගින් ක්‍රියාත්මක කර ඇති ආරක්ෂණ වැඩපිළිවෙලට අදාල විශේෂ මාධ්‍ය හමුවකට (08) එක්වෙමින් සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මේ බව සඳහන් කරයි.
සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සඳහන් කළේ,
“ධාවනයේදී රියදුරෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය නොතිබිය යුතුයි. පසුගිය කාලයේ විශාල රියදුරන් පිරිසක් මතට ඇබ්බැහි වීම හේතුවෙන් ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය වලින් තොර ධාවනයක් වෙනුවෙන් මෙම ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කලා.
ඒ යටතේ බස්නාහිර පලාත තුල පමණක් රියදුරු සහ කොන්දොස්තරවරුන් 5,242 ක් පරීක්ෂා කලා. මෙයින් 239 දෙනෙක් විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වීමෙන් අනතුරුව නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගත්තා. මේ වසර අවසන් වීමට පෙර පරීක්ෂණ ක්‍රියාවලිය දෙගුණයකින් වැඩි කිරීමටත් බස්නාහිර පළාතෙන් ඔබ්බට පරීක්ෂණ දියත් කිරීමටත් කටයුතු කරනවා.”
