මෝදර නිවාස සංකීර්ණයේ කොන්ක්‍රීට් තට්ටුවක් හිස මත කඩා වැටී මල් කැකුලක් මරුට.!

පෙරේදා (04) රාත්‍රී කාළයේදී කොළඹ, මෝදර, රන්දිය උයන නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුවක බදාම කොටසක් හිසමතට කඩා වැටී බිම් මහලේ එළියේ සිටි කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සඳරුවන් මෝටියර් නමැති මෙම 7 හැවිරිදි පිරිමි දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ජීවිතක්ෂයට පත් දරුවා පසුගිය 4 වැනිදා සිය මිත්තණිය හා ලොකු අම්මා සමග එම නිවාස සංකීර්ණයේ පහත මාලයේ පිහිටි වෙළෙඳ සලේ සිට ඇති අතර එහි සිට මෙම දරුවා එම වෙළෙඳ සැලෙන් එළියට පැමිණි අවස්ථාවේ එම බදාම කොටසක් ගැලවී දරුවාගේ හිස මතට වැටී තිබේ.

එහිදී තුවාල ලැබූ දරුවා එහි සිටි පිරිස් එක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිවාස සංකීර්නයේ ජනතාව පවසන්නේ 2019 වසරේ සිට මෙම නිවාස සංකීර්ණයේ බිත්තිය පුපුරා තිබූ බවත් ඒ පිළිබඳ යූ. ඩී. ඒ. එකට දැනුම් දුන් නමුත් සැලකිල්ලක් නොදැක්වූ බවයි.

මේ අතර මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම දරුවාට සිදුවූ අවාසනාවන්ත සිදුවීම ගැන එම දරුවාගේ පවුලෙන් සමාව අයද සිටියේය.

මියගිය දරුවාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (05 වැනිදා) කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැත්විණි. පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි පී. ඒ. කිරිඇල්ල මහතා විසින් පවත්වන ලදී.

ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි මහත්මිය, මියගිය දරුවාගේ මරණය බදාම තට්ටුවක් හිස මත කඩා වැටීමෙන් හිසට සිදුවූ බරපතළ හානි හේතු කොට ගෙන සිදුවූ මරණයක් බවට නිගමනය කළාය.

නාරාහේන්පිට වන්දි කොමසාරිස් කාර්යාලයට ගොස් පැමිණිලි කරන ලෙසට ද කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂකවරිය, මියගිය දරුවාගේ දෙමාපියන්ට දැනුම් දුන්නාය.

දරුවාට සිදුවූ විපත පිළිබඳව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දෙන ලෙසට ද හදිසි මරණ පරීක්ෂකවරිය පොලිසියට නියෝග කළාය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments