නවීන පහසුකම් සහිත ජංගම පුස්තකාල 10ක්.!

‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කැස්බෑව සහ සීතාවකපුර නගර සභා සහ හෝමාගම, දොම්පේ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, වත්තල, බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය සභා සඳහා නවීන පහසුකම් සහිත ජංගම පුස්තකාල රථ 10ක් සහ පොත් 9300ක ප්‍රමාණයක් බෙදාදීම සිදු විය.

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන අතර ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මුදල් ප්‍රතිපාදන යටතේ බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි. 

ගම් මට්ටමින් කියවීමේ රුචිය වර්ධනය කරමින් දැනුමෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණින් ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන අතර 2025 වර්ෂය පුරා ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදුකරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් විය.

කලබලකාරී වත්මන් සමාජය තුළ ගුණගරුක මෙන්ම ශික්ෂණයෙන් යුත් මතු පරපුක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළෙහිදී මෙවන් වැඩසටහන් අතිශයන් වැදගත් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කරයි.

මෙම ජංගම පුස්තකාල සේවාව මඟින් පාසල් දරුවන්ට සහ පොත්පත් කියවීමට ලැදි ග්‍රාමීය ජනතාවට වඩාත් කාර්යක්ෂම හා නවීන පුස්තකාල අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ. 

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments