අශ්චර්යා නම් කරමින් නාමල්ගේ අත්අකුරු ගලපයි

රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන එළඹෙන නොවැම්බර් (06) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ මෙම නඩුව කැඳවු අතර එහිදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ මණ්ඩලය ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ,

“සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබූ ඇප අයැදුමේ ඔහු වෙනුවෙන් ගෙන තිබූ ප්‍රධාන ස්ථාවරය තමයි ඔහු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොනුකර තිබූ දූෂණ විරෝධි පනතේ 149 වගන්තිය ප්‍රකාර සහතිකය වලංගු නැහැ කියන කාරණය.

නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව අධිකරණය එම සහතිකය පිළිගන්නා තත්ත්වයක සැකකරු සම්බන්ධයෙන් ඇප සලකා බැලීමටනම් සුවිශේෂි කරුණු ඉදිරිපත් වී තිබිය යුතුයි.

නමුත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබූ බොහෝ කරුණු නෛතික ස්ථාවරයන් මිස ඇප ලබාදීමට සුවිශේෂි කරුණු නොවේ. එබැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.”

මෙම නඩුවේ පස්වන සැකකාරිය ලෙස ප්‍රශ්නගත ගනුදෙනුව වන අවස්ථාවේ ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ අශ්චර්යා සෝනි යන අයව නම් කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

තවද නාමල් රාජපක්ෂ ප්‍රශ්නගත ගනුදෙනුව සිදුකළ සමයේ නිකුත් කළ බව කියන ලිපියක අත්අකුරු, මෑතකාලීනව පාර්ලිමේන්තුවට ලබාදී ඇති ලේඛනවල අත්අකුරු සමඟ සංසන්දනය කිරීමට බලාපොරොත්තු වෙන බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් සඳහන් කරයි.

අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් සඳහන් කළේ,

“ස්වාමිනි, ප්‍රශ්නගත රුපියල් මිලියන 70ක අල්ලස් ලබාදීම සිදුව ඇත්තේ අවස්ථා 03කදී. එම අවස්ථාවන්හීදි මෙම සැකකාරියත් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක්ව සිට තිබෙනවා. වැඩිදුර විමර්ශනයේදී බැංකු වාර්තා කිහිපයක් ඔස්සේ ඒ පිළිබඳ අනාවරණය වුණා.

මීට අමරතව ක්‍රිෂ් සමාගමේ එවකට සේවකයින් කිහිපදෙනෙකුගෙන්ද අප ප්‍රකාශ සටහන්කර ගත්තා. මීට පෙර ඉතා බියකින් කරුණු ඉදිරිපත් කිරීමට සහ ප්‍රකාශ ලබාදීමට මැලිවූ සාක්ෂිකරුවන් දැන් මේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටීම නිසා බියකින් තොරව දීර්ඝ වශයෙන් ප්‍රකාශ ලබාදී තිබෙනවා.

ඒ වගේම ලේඛන කිහිපයක්ද විමර්ශන නිලධාරීන්ට ලබාදී තිබෙනවා. මේ වෙද්දි ප්‍රශ්නගත ක්‍රිෂ් සමාගම ඈවර කරලා තිබෙන්නේ. මේ අල්ලස් මුදල ලබාගත් බව කියන සිව්වන සැකකාර නාමල් රාජපක්ෂ ප්‍රශ්නගත ගනුදෙනුව සමයේ නිකුත් කළ බව කියන ලිපියක අත්අකුරු මොහු මෑතකාලීනව පාර්ලිමේන්තුවට ලබාදී ඇති ලේඛනවල අත්අකුරු සමඟ සංසන්දනය කිරීමටද අපි බලාපොරොත්තු වෙනවා.”

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel