පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්.!

පෙබරවාරි (17) වනදා සිට (20) වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරයි.

ඒ අනුව පෙබරවාරි (17) වනදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) විවාදයට ගැනීමට නියමිතය.

එමෙන්ම ප.ව 5.00ට මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාව අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතය.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

පෙබරවාරි (18) වනදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතයටතේ නියමයන් තුනක්, (235 අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ අංක 2464/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

පෙබරවාරි (19) වනදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

පෙබරවාරි (20) වනදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන, ” බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු” යන මැයෙන් වූ යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments