By unusuma.lk on
(LK time)විශ්‍රාමික රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හා පසුගිය යුධ සමයේදී දිවි අහිමි වූ රණවිරුවන්ගේ පවුලවල සාමාජිකයන් වෙත වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටළු පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මැයි මස (30) වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.
මෙහිදී විශේෂයෙන් රුසියානු – යුක්රේන යුද්ධය සඳහා ශ්‍රී ලාංකික විශ්‍රාමික රණවිරුවන් කුලී පදනම මත බඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණු ඉස්මතු කෙරුණු අතර, එහිදී තුවාල ලැබූ හෝ ජිවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවත්, මේ හේතුවෙන් බලපෑමට ලක්ව සිටින විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත විශ්‍රාම වැටුප් හෝ වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.
ඒ අනුව රුසියානු – යුක්රේන ගැටුමට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් අතුරින් යුධ ගැටුම් අතරතුර අතුරුදහන් වූ හෝ මිය ගිය පුද්ගලයන් සහ දෙපාර්ශ්වය විසින් දැනට යුධ සිරකරුවන් වශයෙන් රඳවා තබාගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත රැස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත විශ්‍රාම වැටුප් ක්‍රමයක් හෝ වෙනත් මුල්‍ය පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව සොයා බලන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.
මීට අමතරව, මැයි (28) සහ (30) දෙදින තුල ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මහජන දින වැඩසටහනේදී විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන ලද විශ්‍රාම වැටුප් / වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳවද සාකච්ඡා කරන ලදී.
විශ්‍රාමික හා ආබාධිතරණවිරුවන්ට ලැබිය යුතු සහයෝගය අඛණ්ඩව ලබාදීමටත් මෙම ගැටළු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ආරක්‍ෂක ලේකම්වරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.