By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරුන් සහ ඉන්න මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති අරමුදලෙන් කෝටි ගණනින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කළේය.
අරමුදලෙහි සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලාංකේය පුරවැසියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහාත්, ආගම පෝෂණය කිරීම සඳහාත්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමටත්, ජාතිය හා ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් සිදු කළ පුද්ගලයින් ඇගයීම සඳහාත් මෙම අරමුදල භාවිත කළ හැකි බවයි.
අරමුදලෙන් ආධාරයක් ලබාගන්න ගියහොත් එය මොනතරම් අමාරුද යන්න ආධාර ගත් හෝ ඒ සඳහා උත්සාහ කළ අය කවුරුත් දන්නා කාරනාවක් වන අතර මෙම අරමුදල් මගින් ලබාදෙන ආධාරයක් ඍජුවම ඉල්ලුම්කරුගේ අතට නොලැබෙන අතර ඒවා ශල්‍යකර්මය සිදු කරන, නැතහොත් ප්‍රතිකාර ලබාදෙන රෝහලට හෝ රෝගියාගේ ප්‍රතිකාර සඳහා යම් මිලදී ගැනීමක් සිදුකරන්නේ නම් ඒ අදාළ ආයතනයට අරමුදලින් ලබාදෙන ආධාරය යොමු කරයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරු රැසක් වසර ගණනාවක් තිස්සේ මෙම ජනාධිපති අරමුදලෙන් කෝටි ගණනින් මුදල් ලබාගෙන ඇති අතර මැති ඇමැතිවරුන්ට අමතරව තවත් දේශපාලනඥයින් විශාල පිරිසක් මෙම අරමුදලෙන් මුදල් ආධාර ලබාගෙන ඇති අතර ඒ අතර පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුද සිටියි.
එම තොරතුරු අනුව වැඩිම මුදලක් එනම් රුපියල් කෝටි 3ක් ලබාගෙන තිබෙන්නේ හිටපු අගමැති දි.මු. ජයරත්න වන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා රුපියල් ලක්ෂ 188ක්ද, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මන්ත්‍රිවරයා ලක්ෂ 112ක්ද, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ලක්ෂ 110ක්ද, හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ලක්ෂ 100ක්ද ලබාගෙන වැඩිම ආධාර මුදලක් ලබාගත් ලැයිස්තුවේ පෙරමුණේ සිටියි.
මේ සියලු දෙනාම මෙම ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගෙන තිබෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වන අතර මෙම මුදල් ආධාර ලබාගැනීම කිසිදු ලෙසකින්වත් නීත්‍යනුකූල නොවන කටයුත්තක් නොවේ. මෙම ක්‍රියාවලිය තුළින් ප්‍රශ්න කෙරෙන්නේ එහි ඇති සදාචාරාත්මක බවයි. මන්දයත් ඔවුන් බැඳී සිටින්නේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ මුදල් නිසි පරිදි කළමනා කරණය කිරීමට සහ ආරක්ෂා කිරීමට වන බැවිනි.
එලෙස ජනතාව විසින් ලබා ගන්නට තිබූ මුදලක් තමන්ට රිසි පරිදි තමන්ගේ සාක්කුවට දමා ගැනීම කෙතරම් සදාචාරාත්මකද.? මෙලෙස මුදල් ලබාගත් මැති ඇමැතිවරුන් අතරින් ප්‍රසිද්ධියේම මහා පරිමාණයෙන් ව්‍යාපාර පවත්වාගෙන යන මැති ඇමැතිවරුද වේ. මහා පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන නොගියද ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ආදායම් තත්ත්වයන් ගැන, ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවිත පිළිබඳව ජනතාවට අවබෝධයක් ඇත.
විශේෂයෙන්ම විගණකාධිපති වාර්තාවලට අනුව ජනාධිපති අරමුදලින් ආධාර ඉල්ලුම් කර ඇති බොහෝ දෙනකුට ඉතා සොච්චම් මුදලක්වත් ලැබී නොමැති බව අනාවරණය වේ. ඇතැම් අයදුම්කරුවන්ට මුදල් වෙන්කර තිබියදී අවුරුදු තුනක කාලයක් තිස්සේ එම මුදල් ගෙවා නැති බවද අනාවරණය වේ.
එම වාර්තාවේ සඳහන් වන පරිදි වසර අවසන් වන විට රෝගීන් අනූපස් දෙනකු වෙනුවෙන් රුපියල් 1,72,52,501 ක් ගෙවිය යුතුව පැවතුණි. ඉන් රෝගීන් හැටහත් දෙනකු වෙනුවෙන් වෙන්කළ රුපියල් 1,13,77,501ක් අවුරුදු 01 සිට තුනහමාරක් දක්වා කාලයක් තුළ ගෙවීම් කර නොතිබුණු බව අනාවරණය වී ඇත.