තමාගේ වගකීම වන්නේ පක්ෂය නවීන තාක්ෂණය සමග ඉදිරියට ගෙන යා හැකි තරුණ පිරිසට භාරදීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
ස්මාර්ට් දේශපාලනය (Smart Politics) වැලඳගත හැකි නව පරපුරේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,
“විදුලි බලය හැම තැනම තියෙනවා. වාහන තියෙනවා. අපි අලුත් යුගයක ඉන්නේ. අපි දැන් අනාගතය ගැන හිතන්න ඕන. ඒ වෙනුවෙන් නිදහස් හා බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ යුතුයි.
ඒකෙන් තමයි මේ රට දියුණු වුණේ. ඒ සඳහා හැම බලගවේගයකටම එකතු වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ රටේ ආර්ථිකය 2022 කඩා වැටුණා. මං භාරගෙන ස්ථාවරභාවයක් ඇති කළා.
ජනතාව එදත් ජීවත් වුණේ අමාරුවෙන්. අපේ වැඩසටහන තිබුණේ ඊළඟ අවුරුදු 5 තුළ තවත් සහන ලබාදෙන්න. ජීවත් වෙන්න අවශ්‍ය ආදායමක් අතේ තියන්න. ඩොලරයට 185ක් තිබූ රුපියල එක රැයකින් ඩොලරයට 330ක්, 360ක් වුණාම මොකද කරන්නේ.
දීර්ඝ ලෙස 2048 ගැන බැලිය යුතුයි. අලුතෙන් එන ඡන්දදායකයන් යුද්ධය අවසන් වුණාට පස්සේ ඉපදුණු අය. එහෙම ලෝකෙක ඉන්නේ.
අපි ඊට ලෑස්ති වෙන්න ඕන. ඩී.එස්. සේනානායක මැතිතුමා ඇති කළේ අපේ පරම්පරාව. යුද්ධයෙන් පස්සේ විශාල ජනගහනයක් ඇති වුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා හැදුවේ මිලේනියම්ලා. දැන් මිලේනියම්ලා නෙමෙයි ඉන්නේ ජෙන්-Z කියන සමාජය.
ඒක ඩිජිටල් සමාජයක්. අප දුන්නු විදුලිබලයෙන්, අපි දුන්නු ජංගම දුරකථන භාවිතයෙන්, අපි දුන්නු කොම්පියුටරයෙන්, අපි දුන්නු ඉන්ටනෙට් එකෙන් අද ඩිජිටල්යු ගයකට ගිහින් තිබෙනවා. ජෙන්සී කියන්නේ තාක්ෂණ යුගයට ඉපදුණු පරම්පරාව.
මේ පරම්පරාව එක්ක තමයි ඉදිරියට යන්න තියෙන්නේ. රට එතැනට එක්සත් ජාතික පක්ෂය තමයි ගෙන ගියේ. 48, 77 ගෙනිච්චේ අපි. ආපහු ගෙනියන්න තියෙනවා.
මේ පක්ෂය ඒකට ලෑස්ති වෙන්න. 70දී අපිට දුසිමකට වඩා තිබුණේ. ඊළඟ සැරේ රට හැදුවා. අද අපි ඉන්නේ ජේ.ආර්. යුගයේ නෙමෙයි. අපි ඉන්නේ ට්රම්ගේ ලෝකයේ, කැමැති වුණත් නැති වුණත්. ට්‍රම්ප් එක්ක තරග කරන චීනය ඉන්න ලෝකයේ.
අසල්වැසි ඉන්දියාව ඉන්න ලෝකයේ. මේ යථාර්ථය පිළිගන්න ඕන. අපි ඒ යුගයට යන්න ඕන. ඒකට සුදුසු සමාජයක් අපි ඇති කරන්න ඕන. එදා අපි ඇති කළේ ගොවිතැන දියුණු කරලා. ඊට පස්සේ ඇති කළේ කර්මාන්ත හා සංචාරක ව්‍යාපාරය දියුණු කරලා.”
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිරිකොතේදී පැවැති ‘SMART UNP’ ඩිජිටල් වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට (04) එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරයි.

