By unusuma.lk on
(LK time)ඊයේ (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූවේ සෙවනගල සීනි කර්මාන්තශාලාව වසාදැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ඔහු එහිදී පෙන්වා දුන්නේ සීනි කර්මාන්තශාලාව වසා දැමීමේ අවදානමක් පවතින බවට ගොවීන් යැයි කියාගන්නා පිරිසක් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇත්තේ ඔවුන්ගේ දේශපාලනික වුවමනා මත බවයි.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් කඩාකප්පල් කිරීමට කිසිවකු හෝ උත්සහ කරන්නේ නම් එයට එරෙහිව තීන්දු ගැනීමට නොපැකිළිව කටයුතු කරන බවත් ලංකා සීනි සමාගම හුදෙක්ම සීනි නිෂ්පාදනය පමණක් නොව ගොවී ජනතාව ලක්‍ෂ දෙකක් සහ පවුල් 5000 ක පමණ රැකියා ආරක්‍ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර දේශීයව නිෂ්පාදනය කරන දුඹුරු සීනි කිලෝවක් ඉදිරියේදී රුපියල් 236ක මිලකට කම්හල්වලින් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ කළේය.
මැයි 29 වනදා ප්‍රදේශයේ ගොවීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක් අස්වැන්න භාරගැනීම අත්හිටුවා තිබෙන බවයි.
ඔවුන් එහිදී කියා සිටියේ කම්හලේ යන්ත්‍රෝපකරණ , මෙවලම් පසුගිය මැයි 21 වනදා සිට අක්‍රීයවී ඇති බවත්, ආයතනය පාඩු ලබන බවත් පවසමින් බලධාරීන් තම අස්වනු මිලට ගැනීම ප්‍රතික්ෂේප කරන බවත්ය.