Local news (Sinhala)

දේශබන්දුගේ අවසන් බලාපොරොත්තුව අනිද්දා.!

දේශබන්දුගේ අවසන් බලාපොරොත්තුව අනිද්දා.!

මේ වනවිට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා සිටින සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බොහෝ විට අනිද්දා (06) අධිකරණය වෙත නීතිඥයන් හරහා බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ඔහු ඊයේ (03) දින මාතර කොටවිල පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වනු ඇතැයි සිතා මාධ්‍යවේදීන් එම අවස්ථාව ආවරණය කිරීමට උදෑසන සිට අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසලට වී සිටි නමුත් ඔහු පැමිණියේ නැත.

වැලිගම මූලස්ථාන පොලීසියේ නඩු දිනය ලබන බ්‍රහස්පතින්දා බැවින් ඔහු මෝසමක් මගින් එදින අධිකරණයට බාර වනු ඇති බවට සැක කරයි.

පැය 5ක් ප්‍රකාශ ලබාදී තෙල් බෙදුම්කරුවන් CIDයෙන් පිටවෙයි.!

පැය 5ක් ප්‍රකාශ ලබාදී තෙල් බෙදුම්කරුවන් CIDයෙන් පිටවෙයි.!

අද (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැඳවීමකට අනුව එහි පැමිණි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික ශාන්ත සිල්වා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

පැය 5කට ආසන්න කාළයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත.

තෙල් බෙදුම්කරුවන් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ ප්‍රයත්නයක නියැලෙස බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුනු පැමිණිල්ලක් මත ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔවුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුනි.

ලිංගික දර්ශන හුවමාරු කර ගැනීමට පාසල් දරුවන් සමාජ මධ්‍ය ජාලයක් හදාගෙන.!

ලිංගික දර්ශන හුවමාරු කර ගැනීමට පාසල් දරුවන් සමාජ මධ්‍ය ජාලයක් හදාගෙන.!

ජනප්‍රිය පාසලක සිසුන් පිරිසක විසින් තවත් පාසල් කීපයක සිසුන් එකතු කරගෙන සකසා ගත් සමාජ මධ්‍ය ජාලයක් ඔස්සේ විවිධ විෂමාචාර ක්‍රියා සිදු කරගෙන යන බවට තොරතුරු හෙළි වී තිබේ.

ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර තුනකින් සමන්විත එම සමාජ මාධ්‍ය ජාලයට යාපනයේ පාසල්වල 10 හා 11 යන ශ්‍රේණිවලට අයත් සිසුන් පමණක් නොව සිසුවියන් ද විශාල ප්‍රමාණයක් සිටින බව යාපනයේ ස්වේච්ඡා සංවිධාන පෙන්වා දෙයි.

මෙම සමාජ මාධ්‍ය ජාලයේ සාමාජික සාමාජිකාවන් විසින් නිරුවත් ඡායාරූප, වීඩියෝ හා වෙනත් ලිංගික දර්ශන හුවමාරු කර ගන්නා බවට ද එම සාමාජිකයින්ගේ පෞද්ගලික ලිංගික ක්‍රියාකාරකම් ද හුවමාරු කරගෙන ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ.

මීට අමතරව ඔවුන් විසින් සාමාන්‍ය සාද පැවැත්වීමටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය යොදා ගන්නා සාද පැවැත්වීමටත් මෙම සමාජ මාධ්‍ය ජාලය උපයෝගී කරගෙන ඇති බව යාපනයේ ස්වේච්ඡා සංවිධාන ප්‍රකාශ කරයි.

නිවෙස්වලට හොරෙන් කෙටි චාරිකා යාමට ද මෙම සමාජ මාධ්‍ය ජාලය යොදාගෙන තිබේ.

මේ පිළිබඳව වහාම සොයා බලා එම සිසුන්ට යම් දැනුවත් කිරීමක් සිදු කරන ලෙස යාපනයේ ස්වේච්ඡා සංවිධාන සමාජ මාධ්‍ය ජාලය මෙහෙයවන යාපනයේ අදාළ පාසලේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

දිනසේන රතුගමගේ – Divaina

මාලිමාව මුළු රටම සින්නකර ලියයි.!

මාලිමාව මුළු රටම සින්නකර ලියයි.!

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමටත්, සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේ කාර්යයන් ඒ අනුව සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අද (4) අනුමත කරන ලදී.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මුර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථීක වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින් ය.

එය ආර්ථික, සමාජීය, පාරිසරික භා දේශපාලනික ඇතුළු සියලු අංශ නියෝජනය වන පරිදි පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර 04 ක් යටතේ ගොනු කොට ඇත:

  • පරිසමාප්ත ජීවිතයක් – සුව පහසු රටක්
  • ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්
  • නවීන ජීවිතයක් – පොහොසත් රටක්
  • අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක්

එම ප්‍රධාන ක්ෂේත්‍ර 04 යටතේ උප ක්ෂේත්‍ර 40 ක් හඳුනාගෙන ඇති අතර, එම ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රතිපත්ති මූලධර්ම සහ ගත යුතු ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ.

අතුරුදන් මහ මොළකාරියගේ වටිනාකම තවත් වැඩිවෙයි.!

අතුරුදන් මහ මොළකාරියගේ වටිනාකම තවත් වැඩිවෙයි.!

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරිය වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි ගැන සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

වෙඩි තැබීම සිදුකළ දිනයේ සිට මේ වන තෙක් ඇය සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොමැති බැවින් සැකකාරිය අත්අඩංගුවට ගැනීම සදහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුලදී ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25ක් වන කාන්තාවකි.

තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවද දැනුම් දී ඇත.

අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727

ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735

ඉන්ධන හිඟයක් මවා පෑ බිල්ලන්ට වැඩ වරදී.!

ඉන්ධන හිඟයක් මවා පෑ බිල්ලන්ට වැඩ වරදී.!

දිව⁣යින පුරා ඉන්ධන බෙදා හැරීම අඩපණ කරමින් වත්මන් රජය සහ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට පිරිසක් ගත් පියවර සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇත.

දිවයින පුරා ඉන්ධන හිඟයක් ඇති බවට ජනතාව තුළ මතයක් සාදා ජනතාවගේ ජීවිත කඩාකප්පල් කරමින් රට අස්ථාවර කිරීමට උත්සාහ ගත් අයට එරෙහිව නෛතික පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

තෙල් බෙදාහැරීම අඩපණ කිරීමට ගත් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්.!

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්.!

පළාත් පාලන ආයතන 336හි ඡන්ද විමසීම සදහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව (03) සිට (12) වනදා මධ්‍යම රාත්‍රි 12.00න් පසුව අවසන් වීමට නියමිත බවත් එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරණ බව නිවේදයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් ලබාගැනීම හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට (www.elections.gov.lk) පිවිසීමෙන් බාගත කළ හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඡන්ද විමසීමේදී එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ඡන්දහිමියන් ලෙස ලියාපදිංචිව සිටින හා ඡන්ද විමසීම් රාජකාරී සදහා යෙදවීමට නියමිත සියලුම රජයේ නිලධාරීන්/සේවකයන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්/සේවකයන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්/ සේවකයන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් /සේවකයන් සහ ත්‍රිවිධ හමුදාවන්හි පොලිස් දෙපාර්තමේන්තුවේ, සක්‍රීය ආරක්ෂක සේවාවල යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකාවන්, අපේක්ෂකත්වය නිසා තමාට වෙන් කරන ලද ඡන්ද පොළේදී පෞද්ගලිකව ඡන්දය දීමට නොහැකි වන බව හෝ එසේ වීමට ඉඩ ඇති අපේක්ෂකයන් තැපෑලෙන් ඡන්දය දීම සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබයි.

තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන සියලුම දෙනා අදාළ කාල සීමාව අවසන් වන තෙක් නොසිට නොපමාව ස්වකීය ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කරන ලෙසත් මෙම ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීම පිණිස ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදී ඒ සදහා වූ තොරතුරු 2024 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛනයෙන් නිවැරදිව ලබාගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂා කර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව පිළිබඳව නිසැක වී සහතික කළ යුතු බවත් සහතික කරනු ලැබූ අයදුම්පත් හැකි වහාම එම අයදුම්කරු ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත 2025.03.12 දින හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබෙන සේ යැවිය යුතු බවත් දැනුම් දී ඇත.

වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජන ගර්ජනය හකුලාගනී.!

වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජන ගර්ජනය හකුලාගනී.!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය හකුලාගැනීමට අද (04) පස්වරුවේ තීරණය කර ඇත.

අද දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසුවේය.

ගෝඨාභයට මාංචු ලෑස්තියි.?

ගෝඨාභයට මාංචු ලෑස්තියි.?

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ සෙබළුන් දෙදෙනක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ එම සිදුවීමට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත ආරම්භ කිරීමත් සමඟයි.

මෙම සැකකරුවන් යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිට විශ්‍රාම ගොස් සිටින නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි සෙබළුන් දෙදෙනෙකි.

2008 වසරේ මැයි මාසයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා තම නිවස ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඔහුට පහරදී බරපතල තුවාල සිදුකර තිබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් 2015 වසරේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශණ ආරම්භ කර තොරතුරු ගණනාවක් අනාවරණය කරගත් නමුත් පසුම එම විමර්ශණ කුණු කූඩයට වැටුනි.

මෙම සිදුවීම සුවිශේෂී වන්නේ මීට අදාළ විමර්ශණයේදී කරු ජයසූරිය, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන පුද්ගලයන්ගේ සම්බන්ධතා අනාවරණය වීමත් සමඟයි.

මෙම නඩුවට අදාළව දැනට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

සිදුවීම මෙසේය,

මීට වසර 17 කට පෙර සිදුවූ නමුත් දේශපාලන බලපෑම් නිසා යටගිය මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 1 වනදා අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද දින නිදහස් කර ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකි. අත්අඩංගුවට ගෙන තිබුණේ නවගත්තේගම සහ ඇලයාපත්තුව පොලිස් වසම්හිදී ය.

2008 වසරේ මැයි මාසයේදී ‘ද නේෂන්’ පුවත්පතේ සම කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන කලින් කල දේශපාලන අවශ්‍යතා මත යටගිය බවට විවේචන තිබේ.

2008 මැයි 22 වැනිදා දෙහිවල පොලිස් වසමේ වෛද්‍ය පාර ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දී තිබූ අතර
යුද හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් එවක අත්අඩංගුවට ගෙන තිබුණි. 

කීත් සේවය කළේ මීට වසර කිහිපයකට පෙර වසා දැමූ ‘රිවිර මීඩියා කෝපරේශන්’ ආයතනයේ ‘ද නේෂන්’ පුවත්පතේ සම කර්තෘවරයා හැටියටය. ඔහු පුවත්පතේ යුද තොරතුරු වාර්තා කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුද විය. ‘ද නේශන්’ පුවත්පතේ ‘සෙන්පති’ යන අන්වර්ථ නාමයෙන් ‘මිලිටරි මැටර්ස්’ නමැති ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ යුද තත්ත්වය පිළිබඳව වූ ලිපිය සතිපතා රචනා කළේ කීත්ය.

කීත් පැහැරගැනීමට පෙර පළ කෙරුණ ලිපිය කීත් විසින් රචනා කරනු ලැබ තිබුණේ එවකට යුද තත්ත්වය සහ දේශපාලන බලධාරීන් විවේචනය කෙරෙන පරිදිය. කීත් පැහැරගෙන යාමට ආසන්න හේතුව බව පැවැසුනේ “යුද හමුදාව එහි ප්‍රධානියාගේ පෞද්ගලික නින්දගමක් නොවේ” යන හිසින් පළ වූ ලිපියයි.

සිය සගයින් සහ ප්‍රධානීන්ගේ කොන්දේසි විරහිත මැදිහත්වීම් නොවන්නට වධහිංසාවට මුහුණදීමට පමණක් නොව ඇතැම් විට ඔහුගේ ජීවිතය උදුරාගන්නටද එම ලිපිය හේතුවන්නට ඉඩ තිබූ බව මේ වනවිට විමර්ශනවලින් හෙළිදරව්වී ඇති සිදුවීම් අනුව පැහැදිලිය.

කීත් පැහැරගනු ලබන්නේ ‘ද නේෂන්’ පුවත්පතේ කර්තෘ ලලිත් අලහකෝන් සහ එහි හිමිකාරීත්වය ඇති රිවිර මීඩියා කෝපරේශන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත කුරේ සමග කොළඹ ඩුප්ලිකේශන් පාරේ පිහිටි අවන්හලක රාත්‍රී ආහාරය ගෙන නිවසට පිටත් වීමෙන් අනතුරුව එළඹෙන ඊළග නිමේෂයේදීය.

කීත් සිය මෝටර් රථයෙන් දෙහිවල වෛද්‍ය පාරෙහි පිහිටි සිය නිවස ඉදිරිපිටටම පැමිණෙන අතර පැහැරගැනීමට ලක් වන්නේ නිවස ඉදිරිපිට වාහනය නතර කිරීමට සූදානම්වන මොහොතේය. කීත්ගේ බිරිඳ නිවස ඉදිරියට එන විට කීත් එහි නොසිටි අතර වාහනයේ රියදුරු අසුනේ දොර හැර දමා එන්ජිම ක්‍රියා විරහිත කර නොමැති බව දැකීමෙන් ඈ කලබලයට පත්වන්නීය. කීත්ගේ බිරිඳ රෝෂිණී මේ පිළිබඳව ‘ද නේෂන්’ නියෝජ්‍ය කර්තෘවරයා දැනුම්වත් කරන්නේ එහෙයිනි.

කීත් පැහැරගැනීම ගැන කලබලය ඇති වන්නේ ක්‍රිෂාන්ත කුරේ එවකට රජයේ රාජ්‍ය පරිපාලන ඇමති ධුරය දැරූ කරූ ජයසූරිය අමතා මෙම සිදුවීම දැනුම් දී සිය ආයතනයේ ඉංග්‍රීසි පුවත්පතේ සම කර්තෘවරයාගේ ජීවිතාරක්ෂාව පිළිබඳව සහතිකයක් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටීම සමගය. එයින් පොළඹවනු ලබන ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ බව දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි සිය සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ ඇමතීම සිදුව තිබේ.

ඒ අතරේ සිදු වූ තවත් සිදුවීම් කිහිපයකි. සිදුවීම පිළිබඳව පැමිණිලි කිරීමට දෙහිවල පොලිසිය වෙත ගිය ක්‍රිෂාන්ත කුරේ සිය ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ඉල්ලා සිටියද ඒ සඳහා පොලිසියෙන් සූදානමක් නොතිබිණි.

යහපාලන ආණ්ඩුවේ විමර්ශන අනුව, කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම පිළිබඳව ගල්කිස්ස උසාවියේ ගොනු කර ඇති අංක 314 නඩුවේ බී වාර්තාව වැදගත් කරුණු රැසක් හෙළිදරව් කරයි:

ලලිත් අලහකෝන් මහතා විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දුරකතනයෙන් අමතා “මම ලලිත් අලහකෝන් කතා කරන්නෙ. නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගිහින් තියෙනවා. පැහැරගැනීම කරලා තියෙන්නෙ ආමි කොමාන්ඩෝ එකෙන්” බව පවසා ඇත. එහිදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් “මගේ ආමි කොමාන්ඩෝට ඇඟිල්ල දික්කරන්න එපා. ඕක ගෑනු කේස් එකක්” යනුවෙන් පවසා ඇත.

විමර්ශන හෙළිදරව් කරන පරිදි, ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා වෙත මේ ගැන දැනුම්දීමෙන් පසු, පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසට ඇමතුමක් ලබා දී ඇත. ඉන්පසුව ජාතික බුද්ධි ප්‍රධානී එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරට ඇමතුමක් ලබා දී ඇත.

කීත් නොයාර්ගේ ජංගම දුරකථනයට සමගාමීව ට්‍රිපොලි කඳවුරේ බුද්ධි අනු ඛණ්ඩයට අයත් දුරකථන අංක පහක් ගමන් කර ඇති බව හඳුනාගෙන ඇත. මරදාන ට්‍රිපොලි යුද්ධ හමුදා කඳවුරේ පිහිටි බුද්ධි අනු ඛණ්ඩයකට අයත් භට පිරිසක්ද අත්අඩංගුවට ගැනිණි.

පැහැරගෙන යන අතරතුර තමන්ට පහර දුන් බවත් තමාගේ ලිපිවලට තොරතුරු ලැබෙන්නේ කෙසේද, රහස් මාර්ගවලින් තොරතුරු ලබා දෙන්නේ කවුද, බිරිය හා දරුවන් පිළිබඳව හා බැංකු ගිණුම් පිළිබඳව තොරතුරුද විමසූ බවත් මාධ්‍යවේදියා ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දී ඇත. පැහැර ගත් අය තම දෑස් බැඳ පැහැරගෙන ගිය ස්ථානයේ අඩ නිරුවත් කර, ජංගම දුරකථන හා මංගල මුද්ද ගත් බවත් පහර දෙන අතරතුරදී එම ස්ථානයේ සිටි අයකුට දුරකථන ඇමතුමක් ලැබුණු පසු ඔවුන් “හරි සර්, හරි සර්” කියමින් කතා කළ බවත් මාධ්‍යවේදියා පවසා තිබේ.

සිදුවීමෙන් අනතුරුව කීත් තෝරා ගත්තේ විදේශගත වීමේ විකල්පයයි. සිදුවීමෙන් පසු කීත් කිසිදා යළි ශ්‍රී ලංකාව තුළ තමන් වෙනුවෙන් සාධාරණය ඉල්ලන ක්‍රියාවලියකට හෝ කිසිදු මාධ්‍ය කටයුතුත්තකට සම්බන්ධ වනු දක්නට නොලැබිණි.

මෙම සිදුවීම මේ වන විට තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව භාරයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණ අවසන් කර තිබේ. ඒ සඳහා නිසි පියවර ගැනීමේ වගකීම ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවටය.

කීත් නොයාර් මේ වන විට අතුරුදහන් කළ මාධ්‍යවේදියෙකි. ඔහු ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් කීත් නොයාර් නාමය අතුරුදහන් වී ඇත. 2008 වසරේ සිට පසුගිය දහසය වසරකට අධික කාලය තුළම ඔහු නමින් ලියැවුණ කිසිවක් කියවන්නට පාඨකයින්ට අවස්ථාවක් නොලැබිණි. 2008 මැයි 22 වැනිදා කීත් මෙම තත්ත්වයට පත් වූ තීරණාත්මක දිනය වන්නේය. කීත්ගේ තියුණු හෙළිදරව්කිරීම් දරාගත නොහැකිවූ පිරිසක් විසින් කීත් නොයාර් පැහැරගෙන ගොස් ඔහුට දරුණුලෙස වධහිංසා පමුණුවමින් ඔහුගේ මාධ්‍ය භුමිකාවට අවසන් තිත තබන්නේ 2008 මැයි 22 වැනිදාය.

ශ්‍රී ලංකාවට මෙගාවොට් 400ක න්‍යෂ්ටික බලාගාරයක්.!

ශ්‍රී ලංකාවට මෙගාවොට් 400ක න්‍යෂ්ටික බලාගාරයක්.!

අද පාර්ලිමේන්තුවේදී බලශක්ති අමාත්‍යංශය කාරක සභාව වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසූවේ

සූර්ය බලාගාර වලින් මෙගාවොට් 1358ක්, ජලය මතුවෙන පාවෙන සූර්ය බලා බලාගාරවලින් මෙගාවොට් 234 ක් සහ සුළං විදුලි බලාගාර මෙගාවොට් 710 ක් ලෙස බලශක්ති උත්පාදනයට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම මෙගාවොට 300 – 400 ධාරිතාවයකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට අදාළ සැලසුම් සිදු කරමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

We are happy to invite you.