Local news (Sinhala)

“වර්ජන නියතයි” වෛද්‍ය සංගමය ආණ්ඩුවට අනතුරු අඟවයි.!

“වර්ජන නියතයි” වෛද්‍ය සංගමය ආණ්ඩුවට අනතුරු අඟවයි.!

දේශපාලන අවශ්‍යතා මත වෛද්‍යවරුන් පත් කිරීම සහ වෛද්‍ය පුරප්පාඩු පිරවීම හිතුමතේ සිදු වන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියා මාර්ගයකට යාමට සිදු වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවට අනතුරු අඟවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට හා බොරැල්ල කාසල් රෝහලට එකම විශේෂඥ වෛද්‍යවරයකු පත් කිරීමද මුලතිව් සිට කොළඹට මාරුකර ඇති විශේෂඥ වෛද්‍යවරයා දේශපාලන බලපෑම් මත මාරුකර ඇති බවත් වෛද්‍ය ක්ෂේත්‍රයට කරන මෙවැනි මැදිහත්වීම්වලට එකඟ විය නොහැකි බවද එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.

වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීම, පත්කිරීම් හා ස්ථාන මාරුකිරීම් යනාදී කරුණු 8ක් පිළිබඳ යෝජනා ඇතුළත් සංදේශයක් පැවැති රජයට සේම වත්මන් රජයටද භාරදී ඇතත් මෙතෙක් ඒවාට පිළිගත හැකි විසඳුමක් ලැබී නැතැයි ද වෛද්‍ය සංගමයේ මාධ්‍ය ලේකම්වරයා සදහන් කරයි.

කෝටි 64ක තැන්පතු සමගින් දුප්පත්කම පිටුදැකපු හැටි විගණනයෙන් හෙළිවෙයි.!

කෝටි 64ක තැන්පතු සමගින් දුප්පත්කම පිටුදැකපු හැටි විගණනයෙන් හෙළිවෙයි.!

රටේ දිළිඳුකම පිටුදැකීම සදහා පිහිටුවන ලද ග්‍රාම ශක්ති සමිතිවල රුපියල් කෝටි 63.57ක තැන්පතු ගිණුම් සහිත සමිති 2,067ක් අක්‍රිය වී ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම ගණන සමස්ත සමිති ප්‍රමාණයෙන් 57%ක් බවත් සමස්ත ග්‍රාම ශක්ති සමිති සංඛ්‍යාව 3,618ක් බවත් පසුගිය 2017 මාර්තු මාසයේදී ගත් කැබිනට් තීරණයක් අනුව ග්‍රාමීය දිළිඳු බව පිටුදැකීම සදහා මෙම සමිති ස්ථාපිත කර තිබෙන බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එහෙත් එලෙස පිහිටුවන ලද සමිතිවලින් අඩකට වඩා අක්‍රිය වීමෙන් ඒවායේ තැන්පතු මුදල් නිෂ්කාර්ය වී ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ 2023 වසර පිළිබඳ විගණන වාර්තාවේ සදහන් වේ.

කාන්තාවන් නගා සිටුවීම සදහා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පිහිටුවන ලද වනිතා ශක්ති සුළු මූල්‍ය ශාඛා 59න් 29ක්ම අක්‍රිය වී ඇති බවත් ඒවායේ රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් එනම්, රුපියල් 4,90,71,128ක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.

තවත් ශාඛා හතක ගිණුම් ශේෂ තොරතුරු සොයාගත නොහැකි බවද විගණන වාර්තාවේ සදහන් වේ.

“ඔව් අප වැරැද්දක් කළා” වැඩ බලන පොලිස්පතිවරයා නිහතමානීව වරද පිළිගනී.!

“ඔව් අප වැරැද්දක් කළා” වැඩ බලන පොලිස්පතිවරයා නිහතමානීව වරද පිළිගනී.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමවේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ 1968 වසරේ සිට මෙම රථ වාහන අලංකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ එකම නීතියක් නම්, පසුගිය පළමුවනදා සිට ඒ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූයේ පොලීසිය මාධ්‍ය යොදාගනිමින් සංදර්ශන පැවැත්වීම නිසාද යන වගයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසූවේ 2023 වසරේ එම නීති රාමුව යටතේ පොලීසිය විසින් 31,074ක් නඩු පැවරීම් සිදුකර තිබෙනා බවත් 2024 වසරේ 50,539ක් නඩු පවරා ඇති බවත් ය.

මාධ්‍ය යොදාගැනීම හරහා පොලීසිය බලාපොරොත්තු වූයේ මහජනතාව දැනුවත් කිරීම බවත්, කෙසේවෙතත් මහජනතාව ගමන් කරනා බස් රථ නවතා රියදුරන් දැනුවත් කිරීම පොලීසිය සිදුකළ වැරදි සහගත දෙයක් බවත් එහිදී ජනතාව අපහසුතාවට පත්වූ බවත් වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය.

“අපි වැරදි දෙයක් කළා, සමහර තැන් වල මහජනයා යන බස් නවත්තලා මහජනතාව ගැන හිතන්නේ නැතුව දේශන තියන්න පටන්ගත්තා.. මම ඒක දැකපු වෙලාවෙම ඒක නවත්තන්න කටයුතු කළා.. ඉතින් ඒ සමහර දේවල් වැරදියි.. වැරැද්ද අපේ නිළධරියෙක් කළත් කව්රු කළත් අපි වැරැද්ද වැරැද්ද විදියට දකිනවා”

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසූවේ මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මේ වනවිට මහජනාතාව මෙන්ම බස් රථ හිමිකරුවනුත් නිසි අවබෝධයට පැමිණ ඇති බවත් අනාගතයේදී විදේශ රටවල දක්නට ලැබෙන මගී ප්‍රවාහන බස් රථ මට්ටමට මෙම බස් රථ උසස් කිරීම ශ්‍රී ලංකා පොලීසියේද සතුට බවත් ය.

ජනතා සේවය ජනතාව කැමති විදියට.. ආයතන 166ක් කණපිට ගහයි.!

ජනතා සේවය ජනතාව කැමති විදියට.. ආයතන 166ක් කණපිට ගහයි.!

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පවසන පරිදි, රජයේ වාණිජමය නොවන ආයතන 166 කට අයත් මහජන සේවා හා නියාමන කාර්යයන් ගුණාත්මක කිරීමට අදාළ ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පිහිටුවා ඇත.

මෙම කමිටුවේ මූලික ඉලක්කය වන්නේ මහජන සේවා හා නියාමන කටයුතු දියුණු කිරීම සඳහා මහජනතාවට ඉදිරියේදී පහසුකම් සහ ගුණාත්මක සේවාවන් සලසීමයි.

අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදුන් නවතම මාර්ගෝපදේශ අනුව, මෙම ආයතන 166 ක් සපයන සේවාවන් සම්බන්ධයෙන් මහජනතාව මුහුණ දෙන ගැටලු සහ අවශ්‍යතා විමසා එම ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට යෝජනා ලබා ගැනීමේ කටයුතු කමිටුව මගින් ක්‍රියාත්මක කරනු ඇත.

මෙම කටයුතු සඳහා අදහස් ලබාගැනීමේදී අදාළ ආයතනවල නම් ලැයිස්තුව https://pmoffice.gov.lk/soesuggestions.php වෙබ් පිටුවෙන් බාගත කළ හැකි අතර මහජනයාට තම අදහස් ඇතුළත් ආකෘති පත්‍රය පුරවා මෙම මස 31 වැනිදාට පෙර එම කමිටුවට ලබාදීමේථැකියාව පවතී.

පුංචි ඡන්දය පවත්වන දිනය ඇමති ලාල් කියයි.!

පුංචි ඡන්දය පවත්වන දිනය ඇමති ලාල් කියයි.!

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය එළ⁣ඹෙන අප්‍රේල් මස මුලදී පැවැත්වෙනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සදහන් කරයි.

රටේ ආර්ථිකය, බදු ප්‍රතිපත්තිය මත සමහර තීරණ අකමැත්තෙන් වුවත් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවත් මෙම කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ අභියෝගය ජයගන්නා බවද අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සදහන් කරයි.

මැතිවරණ පැවැත්වීමට මුදල් නොමැති බව කියමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 2023 මාර්තු (09) වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා කල් දැමීය.

මීට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේ කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින්ම පවත්වා අවසන් කරන ලෙසයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පවසන්නේ ලබන මාර්තු මස අ.පො.ස සාමාන්‍ය පෙළ අවසන් වනතුරු මැතිවරණය පැවැත්විය නොහැකි බවත් අනතුරුව අප්‍රේල් මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

දුම්කොළ, දුරකථන හා බැටරි බන්ධනාගාරයට පියඹලා ඇවිත්.!

දුම්කොළ, දුරකථන හා බැටරි බන්ධනාගාරයට පියඹලා ඇවිත්.!

බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් වීසිකරන ලද පාර්සලයක තිබී ජංගම දුරකතන 3ක්, දුම්කොළ 17ක් හා දුරකථන බැටරියක් වව්නියාව බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රාජකාරියේ නියුතු නිලධාරීන් එම පාර්සලය ලිහා බැලීමේදී තහනම් ද්‍රව්‍ය හා උපකරණ තොගය හමු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක සදහන් කරයි.

බන්ධනාගාරය තුළ සීමිත නිලධාරීන් පිරිසක් රාජකාරි කටයුතු වල යෙදෙන වේලාවන් බලා තාප්පයට පිටතින් මෙම පාර්සලය විසි කරන්නට ඇතැයි සැක කරන බවද ඔහු සදහන් කරයි.

අත්අඩංගුවට ගනු ලැබූ පාර්සලයේ තිබී පිටතට ගත් ද්‍රව්‍ය හා උපකරණ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික බළකාය වෙත භාරදුන් බවද ඔහු සදහන් කරයි.

පාර්සලය විසිකර ඇත්තේ කවුරුන්ද යන්න හා ඒවා ඇත්තේ කාටද යන්න මෙතෙක් හෙළි වී නැති අතර වවුනියාව බන්ධනාගාරය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ලෝකයේ ප්‍රබලයා TikTok තහනම් කරයි.!

ලෝකයේ ප්‍රබලයා TikTok තහනම් කරයි.!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් (TikTok) යෙදවුම තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටික්ටොක් යෙදුම අයත් ‘බයිට් ඩාන්ස්’ සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසත් නැතිනම් ජනවාරි (19) වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවයි.

ඒ අනුව එම සමාගම එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කළ අතර මිලියන ගණනක් වූ අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් එම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කර ඇත.

කෙසේ වෙතත් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ, ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවයි.

ලෝකය පුරාම අතිශයින් ප්‍රචලිත ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් වන අතර 2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස ප්‍රසිද්ධ විය.

ඊලෝන් මස්ක්ගේ සුපිරි රොකට්ටුව උඩුගුවනේ පුපුරයි.!

ඊලෝන් මස්ක්ගේ සුපිරි රොකට්ටුව උඩුගුවනේ පුපුරයි.!

ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හද‍ා බැලීම සාර්ථක වෙමින් අභ්‍යවකාශ ගත කළද විනාඩි කීපයක් තුළ එය පුපුරා ගොස් විනාශ වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හදිසියේ පුපුරා ගිය රොකට්ටුවේ සුන්බුන් අහසේ සිට පොළවට වැටීම හේතුවෙන් මෙක්සිකෝ බොක්ක හරහා පියාසර කළ ගුවන් යානාවල මාර්ගය වෙනස් කිරීමට බලධාරීන්ට සිදුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම රොකට්ටුව පුපුරා යාම ‌හේතුවෙන් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් හි අහසේ උල්කාපත වර්ෂාවක් මෙන් තැඹිලි පැහැති ආලෝක බෝල ඉරි තැළෙන ආකාරය දිස්වූ බවත් ඉන් පසුව අහස ඝන දුමාරයකින් වැසී ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සමාගමේ දකුණු ටෙක්සාස්හි රොකට්ටු අභ්‍යවකාශගත කරන මධ්‍යස්ථානයේ සිට එරට වේලාවෙන් පස්වරු 5.38 ට පමණ ස්ටාර්ෂිප් රොකට්ටුව ආදර්ශ චන්ද්‍රිකාවක් සමග අත්හද බැලීමට අභ්‍යවකාශගත කර ඇති බවත් අභ්‍යවකාශගත කර විනාඩි 8 කට පසුව රොකට්ටුව පුපුරා ගොස් ඇත.

ආදර්ශ චන්ද්‍රිකාවක් සමග ස්ටාර්ෂිප් රොකට්ටුව අත්හද බැලූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ආදර්ශ චන්ද්‍රිකාව කාර්ය මණ්ඩලය නොමැතිව අභ්‍යවකාශ ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන සංචාරය නිමකරමින් ජනපති අනුර දිවයිනට.!

චීන සංචාරය නිමකරමින් ජනපති අනුර දිවයිනට.!

මෙරටට වැදගත් වන ආයෝජන ව්‍යාපෘති රැසක් සමග චීන රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) දින රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද දින පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි අතර හමුවක්ද සිදුවිය.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ආර්ථික සංවර්ධනයේ පෙරමුණේ සිටින චීනයේ සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබඳතා මෙම හමුවීමත් සමග නව තලයකට පත්වනු ඇති බවයි.

ආර්ථික සංවර්ධනය අතින් පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ගියේය. 

ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාත් ලේකම්වරයාට ඇයුම් කර ඇත්තේ බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිචුවාන් පළාත ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගන්නා ලෙසයි.

මේ වනවිට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, විනිවිදභාවයෙන් යුත් පාලනය තුළ ආයෝජන සදහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත් ජනාධිපතිවරයා ඔහුට පෙන්වා දී ඇත.

මෙරට ඉතිහාසයේ විශාලම කුඩු සල්ලි තොගය කුරුණෑගලින් හමුවෙයි.!

මෙරට ඉතිහාසයේ විශාලම කුඩු සල්ලි තොගය කුරුණෑගලින් හමුවෙයි.!

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් සිදු කරන ලද සෝදිසියකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබූ රුපියල් කෝටි 28ක් සොයාගැනීමට සමත්ව තිබේ.

එය මෙතෙක් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබූ වැඩිම මුදල බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිඳිමින් ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.

කෝටි 28ක් වූ එම මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකිනි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද එම සෝදිසියේදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය, කැබ් රථය සහ වෑන් රථය සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.

බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරු මෙම සිද්ධියට අදාළව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී ඇති බවද සඳහන් වේ.

We are happy to invite you.