Local news (Sinhala)

PHIගේ කුණු වූ මෘත දේහය පාලු නිවසක.!

PHIගේ කුණු වූ මෘත දේහය පාලු නිවසක.!

කාත්තන්කුඩි පොලීසිය පවසන්නේ, මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් කල්ලඩි, කලෙයිමගල් පාරේ අගුළු දමා තිබූ නිවෙසක බෙහෙවින් නරක් වී ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ සිරුරක් සොයා ගත් බවයි.

පොලීසිය පවසන්නේ මියගිය නිවෙස අගුළු දමා තිබූ බවත් ඔහුගේ සිරුර තදින් නරක් වී තිබූ බවයි.

එරාවුර්, මිච්නගර්හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස සේවය කළ එෆ්. ජෛයිකාන්ත් නැමති 48 හැවිරිදි අයෙකුගේ මෙලෙස අබිරහස් ලෙස මියගොස් ඇත්තේ බව පොලීසිය කියයි.

මේ නිවෙසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජීවත්ව සිට ඇත්තේ ඔහුගේ මව සමඟ බවත් මව මිය යෑමෙන් පසු ඔහු තනිව මෙහි වාසය කර ඇති බවටත් තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය කියයි.

මියගිය තැනැත්තා පලමු විවාහයෙන් වෙන්ව වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී සිට ඇති බවත් ඔහුට දාව නිවුන් දරුවන් සිටින බවත් පොලීසිය පවසයි

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව කාත්තාන්කුඩි පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

ගෝඨා CIDයට කැඳවයි.!

ගෝඨා CIDයට කැඳවයි.!

අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබේ.

එමෙන්ම හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද අයුතු ලෙස ඉපයූ දේපල පිලිබඳ ප්‍රශ්න කිරීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අද (17) කැඳවා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සුපිරි වාහන 29ක් අතුරුදන් වු හැටි.!

ජනාධිපති ලේකම් කාර්යාලයේ සුපිරි වාහන 29ක් අතුරුදන් වු හැටි.!

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 29ක් අස්ථානගත වීම සම්බන්ධව විමර්ශනයක් කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරයකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් අදාළ වාහන 29යෙන් 16ක් අවසන් වරට භාවිත කළ පුද්ගලයන්ගේ විස්තර තිබෙන බවත් දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන් වාහන 13ක් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් සොයා ගත නොහැකි බවද දන්වා සිටියේය.

ජනාධිපති ලේකම්වරයා කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන කරන බවත් මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දන්වා සිටියේය.

විමර්ශනයට අදාළව පළාත් නමය තුළ ඇති පළාත් පාලන ආයතනවලින් මෙම වාහන සම්බන්ධයෙන් ලිපි ගනුදෙනු සිදුවී තිබේද යන්න පිළිබඳව තොරතුරු විමසා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විමර්ශන වලට අදාළ ප්‍රගතිය දැනුම් දීම සදහා මාර්තු (12) වැනිදා නඩුව යළි කැඳවන ලෙසත් නියෝග කළාය.

“මං අත්අඩංගුවට ගන්න එපා” මනූෂ අධිකරණයෙන් ඉල්ලයි.!

“මං අත්අඩංගුවට ගන්න එපා” මනූෂ අධිකරණයෙන් ඉල්ලයි.!

තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඉදිරිපත් කර ඇති ඇප අයැදුම්පතක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා එළ⁣ඹෙන (20) වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසේ ස්ථානාධිපතිවරයාට නොතීසී නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කරයි.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර සේවක වැඩසටහනකට අදාළව පෙත්සම්කරු අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක් හා ඊ8 වීසා ගැටලුවක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද නීතිඥවරු ඒ ඇප අයැදුම්පත යොමු කරමින් අධිකරණය හමුවේ සදහන් කරයි.

මෙම පෙත්සම්කරු කර ඇත්තේ ඇමැතිවරයා වශයෙන් රජයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පමණක් බවත් එබැවින් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් පවත්වා ගෙන යාමට හැකියාවක් නොමැති බැවින් පෙත්සම්කරුට අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙසද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

ජනපතිගේ චීන සංචාරයේ දැවැන්තම ආයෝජනය මාගම්පුරට.!

ජනපතිගේ චීන සංචාරයේ දැවැන්තම ආයෝජනය මාගම්පුරට.!

අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයේදී හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේදී ඊයේ (16) පෙරවරුවේ අත්සන් තැබුණු අතර එය එම සංචාරයේදී ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම ආයෝජනය ලෙස සැලකේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුම් අත්සන් තැබූ අතර සමස්ථ ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක වටිනාකමකින් යුතු වෙයි.

සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක ඍජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

මෙම දැවැන්ත ආයෝජනය හරහා මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇති බව රජය අපේක්ෂා කරයි.

එම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.

සංචාරක බස් රිය සිමෙන්ති ලොරියේ ගැටී රියදුරි ජීවිතක්ෂයට.. විදේශිකයන්ටත් තුවාල.!

සංචාරක බස් රිය සිමෙන්ති ලොරියේ ගැටී රියදුරි ජීවිතක්ෂයට.. විදේශිකයන්ටත් තුවාල.!

අද (17) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක පිටුපස ගැටී බිහිසුනු අනතුරක් සිදුවිය.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ බස් රථයේ රියදුරු රෝහල් ගතකිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් ද තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශීය ජාතිකයින් 30ක් පමණ ගමන් කර ඇති බව පැවසෙන අතර අනතුරට හේතුව මෙතෙක් නිෂ්චිතව හඳුනාගෙන නොමැත.

අනතුරෙන් බස් රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු වෙයි.. නොගෙවූ ණය පොලී කපා හරී.!

තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු වෙයි.. නොගෙවූ ණය පොලී කපා හරී.!

රජය විසින් ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා සහන පැකේජ ක්‍රමයක් සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු සඳහා සහන සැලසීම සඳහා දිගු කාලීන දැක්මක් සහිතව මෙම සහන පැකේජය සකස් කර ඇත.

ඒ අනුව, බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019.04.01 දින හෝ ඉන් පසුව අදියර 3 (අක්‍රිය ණය) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අවශ්‍ය සියලුම ලියකියවිලි සමඟින්, 2025.03.31 හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම්, එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යෝජිත සහන පැකේජය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.

(අ) විශේෂිත සහන

1. 2024.12.15 දිනට පැවති සමස්ත ගෙවිය යුතු ණය ප්‍රාග්ධන වටිනාකම මත පදනම්ව කාණ්ඩ තුනක් යටතේ විශේෂිත සහන ක්‍රියාමාර්ග යෝජනා කර ඇති අතර ඒ අනුව එක් එක් කාණ්ඩය සඳහා හිමිවන විශේෂිත ප්‍රතිලාභ පහත වගුවේ දක්වා තිබේ.

2019.04.01 සිට 2024.09.30 දක්වා කාලය තුළ බැංකු විසින් අදියර 3 ණය කාණ්ඩය (අක්‍රිය ණය) යටතේ රු. බි. 886ක පමණ වටිනාකමක් සහිත 494,000ක් පමණ වන ණය ලබාගත් අය වර්ග කර ඇති අතර, එසේ වර්ග කර ඇති ණය සංඛ්‍යාවෙන් 99% ක් පමණම රු. මි. 25ට අඩු ණය ගැනීම් ලෙස වාර්තා වී ඇත.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය කාලය තුළ අත්විඳින ලද අහිතකර බලපෑම් හේතුවෙන් ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජය සැලසුම් කර තිබේ.

සම්පූර්ණ විස්තර පහතින්,

එජාප – සජබ දීගය සූදානම්.. අලුත්ම වෙනසකින් පරණ මුහුණු.!

එජාප – සජබ දීගය සූදානම්.. අලුත්ම වෙනසකින් පරණ මුහුණු.!

එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි මැතිවරණ වලදී එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට වන යෝජනාවකට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම එකඟතාවට පැමිණ ඇත.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පක්ෂයේ නියෝජිතයන් රැසක් එම අවස්ථාවට සහභාගි විය.

මහ මෝල් හිමියන්ට දැනෙන්න ජනපති අනුර වැඩ අරඹයි.!

මහ මෝල් හිමියන්ට දැනෙන්න ජනපති අනුර වැඩ අරඹයි.!

එළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංර්වර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා ස.තො.ස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදු කරන ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් වාරි මාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදී ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයත් තාක්ෂණික දැනුමත් යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම සදහාත් අවධානය යොමු විය.

එමෙන්ම අස්වනු නෙලන කාලය වන විට ගබඩාවන් හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමකර මහකන්නයේ අස්වනු මිලදී ගැනීම සදහා සුදානම් කිරීමටත්, වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්ෂාව සැපයීමටත්, ආරක්ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකල අතර Clean Sri Lanka හි තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නන්වනු ලබයි.

දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර ස.තො.ස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතී. එම ගබඩාවන් හී පවතින අඩුපාඩුකම් හා ගත යුතු පියවර මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව පැමිණි සිටි පාර්ශ්වයන් මෙම සාකච්ඡාවෙදී අදහස් හුවමාරු කර ගන්නා ලදි.

මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එ එල් රාජගුරු, කලාප කළමණාකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් – ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

පාතාලයේ ලොක්කා “පොඩි ලැසී” අත්අඩංගුවට.!

පාතාලයේ ලොක්කා “පොඩි ලැසී” අත්අඩංගුවට.!

ජාත්‍යන්තර පොලීසිය මගින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන ඇත.

ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.

අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණ අතර පොලීසිය කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබුණේ පොඩි ලැසී ඉන්දියාවේ රැඳීසිටින බවය. 

We are happy to invite you.