Local news (Sinhala)

පසුගිය රජයේ තවත් වංචාවක්.. බෝ නොවන රෝග වලින් වැළකෙන්න smart youth night.!

පසුගිය රජයේ තවත් වංචාවක්.. බෝ නොවන රෝග වලින් වැළකෙන්න smart youth night.!

2030 වසර වන විට තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ සහ බෝ නොවන රෝග වැළඳීම තුනෙන් එකකින් වළක්වා ගැනීම ඉලක්ක කර ගනිමින් “smart youth night” ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මාලාව පවත්වා ඇති නමුත් ඒවා සාධාරණ හේතු ලෙස පිළිගත නොහැකි බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සදහන් කරයි.

රට පාලනය කළ පසුගිය රජයේ Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත් එම ප්‍රසංග පවත්වා නොමැති බව විගණන විමසුමකදී හෙළි වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සදහන් කරයි.

හැටන් සහ වැලිසර ප්‍රදේශවල ප්‍රසංග සදහා මූලික වියදම් දරා ඇති නමුදු එම ප්‍රසංග පවත්වා නොමැති බවත් එම ප්‍රසංග දෙකෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 295,292ක් වියදම් කර ඇති බවත් හැටන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 234,592ක් සහ වැලිසර ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 60,700ක වියදමක් දරා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

දැඩි ආර්ථික අර්බුදයක් පැවති සමයකදී පසුගිය රජය Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව සදහා මුදල් වියදම් කිරීම මතභේදාත්මක බවත් මෙම ප්‍රදර්ශන හා ප්‍රසංග තරුණ සේවා සභාවේ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවද මෙම වසරේ ජනවාරි (06) වෙනිදා නිකුත් කරන ලද විගණන විමසුමකින් කරුණු ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

එහෙත් සංගීත ප්‍රසංග අප්‍රේල් මාසයේදී ආරම්භ කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි මාසයේදී බවත් මෙම විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව තරුණ සේවා සභාවට දන්වා ඇත්තේ කැබිනට් අනුමැතිය හිමි වී සතියකින් පසුව බවත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

අපරාධ විමර්ශන කොට්ඨාස – ඇමතිගෙන් අලුත් වැඩක්.!

අපරාධ විමර්ශන කොට්ඨාස – ඇමතිගෙන් අලුත් වැඩක්.!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළේ, පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බවයි.

දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුවී ඇති බවත් දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සදහන් කරයි.

විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ බවත් ඇතැම් විමර්ශන සෘජුවම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇතැයිද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.

වසර 15කට පසු ගඩාෆි අත්අඩංගුවට.!

වසර 15කට පසු ගඩාෆි අත්අඩංගුවට.!

බන්ධනාගාර බස් රථයක ඇතුළත තහඩුව ඉවත්කර 2010 වසරේදි පලාගිය උපේක චන්ද්‍රගුප්ත හෙවත් “ගඩාෆි” නමැති සැකකරු වසර 15කට පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 2010 වසරේ අගෝස්තු මස (03) වැනිදා කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු වුයේ උපේක චන්ද්‍රගුප්ත හෙවත් ගඩාෆි ය.

ඔහු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග මාකන්දන ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට පැමිණි අවස්ථාවේ ආයතනයේ කළමණාකාරිණිය හදිසි නළාව නාද කිරීමෙන් පසුව කලබල වී ගඩාෆි සහ තවත් අයෙක් පලාගොස් තිබුණි.

අනතුරුව අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළි කරගත් කරුණු මත ගඩාෆි පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ජීව අත් බෝම්බයක්, බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 5ක් සහ ගිනිඅවියක් ද සමගය.

අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයෙන් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සදහා රැගෙන යන අතරතුර සැකකරු බස්රථයේ ඇතුළත තට්ටුවේ යකඩ තහඩුව සූක්ෂම ලෙස ගලවා දමමින් බස් රථයෙන් පලාගොස් තිබුණේය.

පසුව සැකකරු වසර 10ක් පමණ විදෙස්ගතව සැඟව සිට ඇති අතර වීසා කල් ඉකුත්වී මාස 6ක පමණ කාලයක් අබුඩාබියේදී සිර දඬුවමටද ලක්ව සිට පසුව යළි 2021 වසරේදි මෙරටට පැමිණ ඇත.

සුදු අලියෙක් ගොඩදාන්න ඇමති රාජපක්ෂ මකවන්න සැරසෙයි.!

සුදු අලියෙක් ගොඩදාන්න ඇමති රාජපක්ෂ මකවන්න සැරසෙයි.!

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසූවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

අදාල ක්‍රීඩා සංකීර්ණය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කර ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳ්හන් කළේය.

එහි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන නමුත් මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට කිසිදු ආයෝජකයෙකු මුදල් ආයෝජන නොකරන බවත් එබැවින් එම නම ඉවත් කිරීමටද ඉදිරියේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

91 ප්‍රේමදාස බේරාගත් රනිල්ට 25 ප්‍රේමදාසගෙන් බේරාගන්න වෙලා.!

91 ප්‍රේමදාස බේරාගත් රනිල්ට 25 ප්‍රේමදාසගෙන් බේරාගන්න වෙලා.!

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට පැමිණි කඩු වෙල ආසනයේ සජබ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසූවේ පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බවයි.

එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ මෙම පක්ෂ දෙකේ එකතුව රටට හොඳ අවස්ථාවක් බවයි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේ එවකට 1991 වසරේ දෝශාභියෝගයෙන් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩීමට ගිය අවස්ථාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමේ වගකීම තමා බාර ගත් බවයි.

එම අවස්ථාව සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුද සජබ පළාත් පාලන ආයතන නියෝජිතයෝද සහභාගී වී සිටියහ.

එමෙන්ම තලතා අතුකෝරළ මහත්මියගේ සහෝදරයාත් තමාට එදා උදව් කළ අතර දැන් තලතා අතුකෝරළ මහත්මිය සියලු පාර්ශ්ව වලට කතා කොට පක්ෂ එකතු කිරීමේ වගකීම බාරගෙන තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා පැව්සීය.

මාර්ග ආරක්ෂාවට අලුත්ම යෝජනාවක්.!

මාර්ග ආරක්ෂාවට අලුත්ම යෝජනාවක්.!

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා එය පසුකාලීනව මාර්ග ආරක්ෂාව පිළිබඳ අධිකාරියක් බවට පත් කරන මෙන් ජනාධිපතිවරයාට යෝජනාවක් භාරදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා සදහන් කරයි.

මෙම යෝජනාව මීට පෙර පැවැති පාලනයේදී එවකට ජනාධිපති ලේකම්වරයා වෙත භාරදුන් බවත් ඒ පිළිබඳ මෙතෙක් කිසිවක් සිදුනොවූ නිසා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදීමට පියවර ගන්නා බවද සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා සදහන් කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීමේ විශේෂඥ කමිටුව විසින් ලෝක බැංකුව සැපයූ පහසුකම් මත සකස් කළ යෝජනාවක් මෙසේ භාරදුන් බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මේ බව සදහන් කරයි.

පවතින නීති ශක්තිමත් කළ යුතු බවත් පොදු වාහන විචිත්‍ර කිරීමේදී දර්ශන පථය අවහිර නොවන පරිදි එය සිදුකළ යුතු බවත් ඒවායින් විශේෂයෙන්ම මගීන්ට හානි නොවිය යුතු බවත් ඒකපාර්ශ්විකව නොසිතා සෑම අතින්ම සිතා කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය සුරන්ත සදහන් කරයි.

විපක්ෂයේ තරුණ මන්ත්‍රීන් මාලිමා ආණ්ඩුව පරදවන්න බරටම වැඩ.!

විපක්ෂයේ තරුණ මන්ත්‍රීන් මාලිමා ආණ්ඩුව පරදවන්න බරටම වැඩ.!

මීළඟට පවත්වන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධ කිරීමට තරුණ මන්ත්‍රීවරු පිරිසක් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

දැනටමත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් කිරීමට එම දෙපාර්ශ්වයේම පිරිසක් සූදානමින් සිටින බවත් විපක්ෂයේ සියලු පක්ෂ ඒකරාශී කිරීමටද මෙම තරුණ දේශපාලකයන් පිරිස පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසක් මූලික වී සිටින අතර ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට පෙර පැවැති නොහොඳ නෝක්කාඩු අමතක කර ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමට මෙම තරුණ මන්ත්‍රී පිරිස සාකච්ඡා පවත්වමින් සිටින බවද දැන ගන්නට ඇත.

මාලිමා රජයෙන් බලාපොරොත්තු ඉටුකරගත නොහැකි තත්ත්වයක් පැවැතීම හා මීළඟ මහ මැතිවරණයේදීත් මාලිමාව ජයග්‍රහණය කළහොත් දැනට විපක්ෂයේ සිටින බහුතරයකට දේශපාලනයෙන් සමුගැනීමේ තර්ජනයක් ඇති විය හැකි බවත් මෙම පිරිසගේ අදහස වී ඇති බවද වාර්තා වේ.

ආණ්ඩුව හැරෙද්දී නිශ්සංක බන්දුල ඉල්ලා අස්වෙයි.?

ආණ්ඩුව හැරෙද්දී නිශ්සංක බන්දුල ඉල්ලා අස්වෙයි.?

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේග (NPP) රජය සැලසුම් කර ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා මේ මස අවසානයේ සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුගේ මෑත කාලීන කාර්‍ය සාධනය පදනම් කරගනිමින් එම දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමට රජය සූදානම් වී ඇති බව වාර්තා වේ.

විනිසුරු කරුණාරත්න මහතා මේ වසරේ ජුනි 16 වන දින වයස අවුරුදු 63 සම්පූර්ණ කර විශ්රාම යාමට නියමිතව සිටියද, දෝෂාභියෝග චෝදනා හේතුවෙන් ොහු ඊට ප්‍රථම ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව, පසුගිය සඳුදා නීතිපති පාරින්ද රණසිංහ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවකින් පසුව, බරපතල අපරාධ නඩු 11ක් කඩිනමින් අවසන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, මෙම තීරණය දෝෂාභියෝග ක්‍රියාවලිය සඳහාද බලපෑමක් ඇතිකර ඇති බව පැවසේ.

විනිසුරු කරුණාරත්න මහතා මහේස්ත්රාත්වරයකු ලෙස තම අධිකරණ ජීවිතය ආරම්භ කළ අතර, පසුව අභියාචනාධිකරණ සභාපති ධුරයට පත්වූ අතර පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයකු ලෙස පත් කිරීමට නිර්දේශ කළ නමුත්, ව්‍යවස්ථාදායක සභාව විසින් එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී.



We are happy to invite you.