Local news (Sinhala)

අමාත්‍යාංශ 05කට වැඩබලන අමාත්‍යවරු.!

අමාත්‍යාංශ 05කට වැඩබලන අමාත්‍යවරු.!

චීනයේ රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනෙන් පිටත්ව යාම නිසා අමාත්‍යාංශ 05කට වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

ආරක්ෂක වැඩබලන අමාත්‍ය – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය – විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය – කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය – ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍ය – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

බලාපොරොත්තු රැසක් සමගින් ජනපති අනුර චීනයට.!

බලාපොරොත්තු රැසක් සමගින් ජනපති අනුර චීනයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ රාජ්‍ය සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතව ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි (14) වනදා සිට (17) වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ.

මෙම සංචාරය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව චීනයේ සිදුකරන පළමු සංචාරය වන අතර චීන ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට එය ඉතා වැදගත් වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි හමුවීමට නියමිතව ඇත.

මිත්‍රත්වය ඉදිරියට ගෙනයෑමට මෙන්ම දේශපාලනික අවබෝධය ඉදිරියට පත්වාගෙන යෑමට සහ චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය වැදගත් වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මෙම සංචාරය සදහා එක්ව ඇත.

රජයට අභියෝග කරමින් මහ මෝල් හිමියෝ වැඩ අරඹයි.. උපරිම මිලක්.!

රජයට අභියෝග කරමින් මහ මෝල් හිමියෝ වැඩ අරඹයි.. උපරිම මිලක්.!

පෞද්ගලික අංශය මාස් කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර තෙත වී කිලෝවක් රුපියල් 122 කටත්, වියළි වී කිලෝවක් රුපියල් 140 කටත් මිලදී ගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අහස් වැස්සෙන් සහ ඔක්තෝබර් මාසයේ මැද සිට මහවැලි ජලයෙන් කළ වගාවල වී අස්වැන්න නෙළීම දැන් ආරම්භ වී තිබෙන අතර පසුගිය සතියේ සිට අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පවතියි.

රජයේ සහතික මිල මෙතෙක් ප්‍රකාශයට පත් කිරීමට අපොහොසත්වී සිටින බව පැවැසූ ගොවි නියෝජිතයෝ වෙළෙඳුන් මාස් කන්නයේ වී අස්වැන්න කුණු කොල්ලෙට මිලදී ගැනීමෙන් පසුව සහතික මිළ ප්‍රකාශයට පත් කරන්නේ දැයි කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් විමසයි.

මාස් කන්නයේ වී වගාව සඳහා පිරිවැයට සාපේක්ෂව වී කිලෝවක සහතික මිල නියම කළ යුතු බව පෙන්වා දෙන ගොවියෝ වී කිලෝවක් සදහා අවම වශයෙන් රුපියල් 130ක මිලක් ලැබිය යුතු බව අවධාරණය කරයි.

2023 වසරේ කෝටි 15,964ක පාඩුවක්.. විගණකාධිපති හෙළි කරයි.!

2023 වසරේ කෝටි 15,964ක පාඩුවක්.. විගණකාධිපති හෙළි කරයි.!

පසුගිය 2023 දෙසැම්බර් (31) වැනිදා වනවිට ලෙජසි පරිගණක පද්ධතියට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් හිඟ බදු, දඩ හා පොලිය වශයෙන් අයකරගත යුතු රුපියල් කෝටි 15,964ක් තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විගණකාධිපතිවරයා හෙළි කරයි.

ඒ මුදල ලෙජසි පරිගණක පද්ධතියට අනුව එකතු කළ යුතු බදු ආදායමෙන් සියයට 76ක් බව විගණන වාර්තාවේ සදහන් වන අතර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලෙජසි පරිගණක පද්ධතියට අනුව 2023 වසරේදී රැස් කරගත යුතු හිඟ බදු, දඩ හා පොලී ආදායම රුපියල් 209,936,351,219 කි.

ඉන් රුපියල් 159,645,625,333 ක් තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඒ අනුව එකතු කළ යුතු ආදායමෙන් එකතු කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ කෝටි 5,029 ක් පමණක් බව විගණන වාර්තාවෙන් අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරි කරුණු පැහැදිලි කරමින් සදහන් කර තිබෙන්නේ හඳුනා ගත් විවිධ වලංගු හේතු මත මෙම බදු අය කිරීම් අත්හිටුවා ඇති අතර ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ඒවා නැවත අය කර ගන්නා බවය.

විශාල පිරිසක් පැදුරටත් නොකියා රටින් පනී.. ඇමති නලින්ද සියල්ල හෙළිකරයි.!

විශාල පිරිසක් පැදුරටත් නොකියා රටින් පනී.. ඇමති නලින්ද සියල්ල හෙළිකරයි.!

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍ය, සාමාන්‍ය වෛද්‍ය, හෙද හෙදි, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් 1,519ක් ගෙවී ගිය වසර දෙකහමාරක් තුළදී නොදන්වා සේවය හැර ගොස් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

රට තුළ මතු වූ ආර්ථික අර්බුදයත් සමග ඇති වූ තත්ත්වයන් මත පසුගිය 2022 ජනවාරි සිට 2024 නොවැම්බර් දක්වා කාලය තුළ මෙම පිරිස සේවය හැර ගොස් ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

නොදන්වා සේවය හැර ගිය සෞඛ්‍ය වෘත්තිකයන් අතර විශේෂඥ වෛද්‍යවරුන් 59ක්, සාමාන්‍ය වෛද්‍යවරුන් 628ත්, පරිපූරක වෛද්‍යවරුන් 154ක්, අතුරු වෛද්‍ය නිලධාරීන් 48ක් හා හෙද හෙදියන් 630ක් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

පසුගිය කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 59 දෙනකු නොදන්වා සේවය හැර ගොස් ඇති අතර තවත් සිව්දෙනෙක් විශ්‍රාම ගෙන හෝ නීත්‍යනුකූලව ඉල්ලා අස්වී ඇති අතර ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් 833ක් හිඟයක් රට තුළ පවතින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍යවරයා සඳහන් කරන පරිදි මෙරට සෞඛ්‍ය සේවය ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාමට විශේෂඥ වෛද්‍යවරුන් 2,837ක් සිටිය යුතු නමුත් මේ වන විට සිටින්නේ 2,004ක් පමණක් බවත් සාමාන්‍ය වෛද්‍යවරු 22,701ක් සිටිය යුතු අතර දැනට සිටින්නේ 21,496ක් පමණක් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍යවරයා පවසන පරිදි පසුගිය කාලය තුළ නොදන්වා සේවය හැර ගිය සාමාන්‍ය වෛද්‍යවරුන් 628ට අමතරව තවත් 400ක් නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වී ගොස් ඇති බවත් ඒ අනුව රට සාමාන්‍ය වෛද්‍යවරුන් 1,205ක හිඟයක් පවතින බවයි.

හෙද නිලධාරින් 44,665ක් සිටිය යුතු අතර දැනට සිටින්නේ 41,876ක් පමණක් වන අතර හෙද නිලධාරීන් 630ක් නොදන්වා සේවය හැර ගොස් ඇති අතර තවත් 184 ක් නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වී ඇති අතර මේ වනවිට 2,789ක් හෙද කාර්ය මණ්ඩල හිඟයක් මතුව ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අතුරු වෛද්‍ය වෘත්තිකයන් 3,911ක හිඟයක් පවතින අතර පසුගිය කාලය තුළ 48 දෙනෙකු නොදන්වා සේවය හැරගොස් ඇති බවත් පරිපූරක වෛද්‍ය නිලධාරීන් 1,290ක් හිඟයක් පවතින අතර රට තුළ මතු වූ ආර්ථික අර්බුදය තුළ 154 දෙනකු නොදන්වා සේවය හැර ගොස් ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අර්ජුන් ඇලෝසියස් චැපල් ශාලාවෙන් “එම්” වාට්ටුවට.. දවල් මැහුම් පාටියේ.!

අර්ජුන් ඇලෝසියස් චැපල් ශාලාවෙන් “එම්” වාට්ටුවට.. දවල් මැහුම් පාටියේ.!

රුපියල් කෝටි 350ක වැට බදු නොගෙවීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන අර්ජුන් ඇලෝසියස් නමැත්තා රෝගී තත්ත්වය මත වැලිකඩ චැපල් ශාලාවෙන් ‘එම්’ සිර වාට්ටුවට මාරුකර යවා ඇතැයි එම බන්ධනාගාරය සදහන් කරයි.

වෛද්‍ය නිර්දේශ මත මෙම මාරුකිරීම සිදුකර ඇති අතර ඇදුම රෝගය වැලඳී දැඩි අපහසුවෙන් එම් සිර වාට්ටුවේ සිටින මෙම සිරකරු තවත් සිරකරුවන් 69 දෙනෙකු සමග රඳවා ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් සදහන් කරයි.

මේ වනවිට එම සිරකරු දිවා කාලයේදී කර්මාන්ත අංශයේ මැහුම් පාටියේ යොදවා ඇති බවත් 2024 ඔක්තෝබර් මස (14) වන දින මොහු සමග තවත් දෙදෙනකු සිරගත කර සිටින බවද බන්ධනාගාරය සදහන් කරයි.

මෙම සිරකරු බැලීමට අමුත්තන් කිසිවකුත් නොපැමිණෙන බවත් ඔහු බන්ධනාගාර ආහාර පාන ලබාගන්නා බවද වාර්තා වේ.

හිටපු දේශපාලඥයන් පිරිසක් සිහින පෙන්වා මුදල් ගරලා.!

හිටපු දේශපාලඥයන් පිරිසක් සිහින පෙන්වා මුදල් ගරලා.!

ඉකුත් වසර දෙකක පමණ කාලයේදී එක්තරා දේශපාලනඥයන් පිරිසක් විසින් ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් 5,000කට අධික පිරිසකගෙන් මුදල් එකතු කරගෙන මහා පරිමාණ ජාවාරමක් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ හෙළි කරයි.

එම පුද්ගලයින් එක්තරා දේශපාලනඥයන් පිරිසකට මුදල් ලබාදී වසර දෙකක් තිස්සේ රැකියා ලැබෙන තුරු මඟ බලා සිටින බවද එහි සභාපති කෝශල වික්‍රමසිංහ සදහන් කරයි.

ඊශ්‍රායල් රජය මගින් මෙරටට ලබාදී තිබූ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා 10,000ක කෝටාව යටතේ දේශපාලන වුවමනා මත නුසුදුසු පුද්ගලයන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා සදහා යවා ඇතැයිද, ඒ අය අදාළ රැකියා ස්ථාන වලින් ඉවත් වී වෙනත් රැකියා ස්ථාන වෙත යොමුවීම නිසා එම රැකියා කෝටාව රටට අහිමි වී ඇතැයිද සභාපතිවරයා සදහන් කරයි.

එම රැකියා සදහා 2,000ක පමණ පිරිසක් යොමු කළත් පෙර කී හේතුව මත ඉතිරි රැකියා 8,000 අහිමි වූ බවත් ඒ අනුව ඊශ්‍රායල් රැකියා ලබාදීම විනිවිදව සිදු කර එරට රැකියා අවස්ථා මෙරටට වැඩි වශයෙන් ලබා ගැනීමට වැඩ පිළිවෙළක් යොදා ඇතැයි ද සභාපතිවරයා සදහන් කරයි.

හිරගෙදරට ආහාර රැගෙන ගිය තරුණයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.!

හිරගෙදරට ආහාර රැගෙන ගිය තරුණයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.!

බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක් යට සඟවා හෙරොයින් ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු 26 හැවිරිදි තරුණයකුට කොළඹ මහාධිකරණය විසින් පසුගියදා ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කර ඇත.

දීර්ඝ නඩු විභාග යකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබාදී ඇති අතර ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම වුණේ 26 හැවිරිදි අවිවාහක තරුණයකු වන දේව රාජා ලෝරන්ස් නමැත්තකුටය.

2019 වසරේ දෙසැම්බර් මස (04) වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිය මිත්‍රයකුට ආහාර රැගෙන ගිය බාල්දියේ ව්‍යාජ පතුලක් යට සඟවා හෙරොයින් ග්‍රෑම් 25.09ක් බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පැවරූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.

ඒ අනුව ඔහුට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බව විනිසුරුවරයා අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කර ඇත.

පසුගිය රජයේ තවත් වංචාවක්.. බෝ නොවන රෝග වලින් වැළකෙන්න smart youth night.!

පසුගිය රජයේ තවත් වංචාවක්.. බෝ නොවන රෝග වලින් වැළකෙන්න smart youth night.!

2030 වසර වන විට තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ සහ බෝ නොවන රෝග වැළඳීම තුනෙන් එකකින් වළක්වා ගැනීම ඉලක්ක කර ගනිමින් “smart youth night” ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මාලාව පවත්වා ඇති නමුත් ඒවා සාධාරණ හේතු ලෙස පිළිගත නොහැකි බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සදහන් කරයි.

රට පාලනය කළ පසුගිය රජයේ Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත් එම ප්‍රසංග පවත්වා නොමැති බව විගණන විමසුමකදී හෙළි වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සදහන් කරයි.

හැටන් සහ වැලිසර ප්‍රදේශවල ප්‍රසංග සදහා මූලික වියදම් දරා ඇති නමුදු එම ප්‍රසංග පවත්වා නොමැති බවත් එම ප්‍රසංග දෙකෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 295,292ක් වියදම් කර ඇති බවත් හැටන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 234,592ක් සහ වැලිසර ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 60,700ක වියදමක් දරා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

දැඩි ආර්ථික අර්බුදයක් පැවති සමයකදී පසුගිය රජය Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව සදහා මුදල් වියදම් කිරීම මතභේදාත්මක බවත් මෙම ප්‍රදර්ශන හා ප්‍රසංග තරුණ සේවා සභාවේ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවද මෙම වසරේ ජනවාරි (06) වෙනිදා නිකුත් කරන ලද විගණන විමසුමකින් කරුණු ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

එහෙත් සංගීත ප්‍රසංග අප්‍රේල් මාසයේදී ආරම්භ කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි මාසයේදී බවත් මෙම විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව තරුණ සේවා සභාවට දන්වා ඇත්තේ කැබිනට් අනුමැතිය හිමි වී සතියකින් පසුව බවත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

අපරාධ විමර්ශන කොට්ඨාස – ඇමතිගෙන් අලුත් වැඩක්.!

අපරාධ විමර්ශන කොට්ඨාස – ඇමතිගෙන් අලුත් වැඩක්.!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළේ, පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බවයි.

දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුවී ඇති බවත් දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සදහන් කරයි.

විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ බවත් ඇතැම් විමර්ශන සෘජුවම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇතැයිද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.

We are happy to invite you.