Main news (Sinhala)

විදුලි බිලේ වාසිය ජල බිලට.!

විදුලි බිලේ වාසිය ජල බිලට.!

ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්‍ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩුවනු ඇති බවයි.

විදුලි ගාස්තු අඩු වීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටද ලබා දීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටින බව එම මණ්ඩලය පවසයි.

සති දෙකක අධ්‍යයනයෙන් පසු එහි අවසන් වාර්තාව අමාත්‍යංශය වෙත යොමු කිරීමට නියමිත බවද ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

වත්මන් දත්ත අනුව මෙරට ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 32 ඉක්මවා ඇති අතර පසුගිය අගෝස්තු 21 වැනිදා අවසන් වරට සිදුවූ ජලගාස්තු සංශෝධනය අනුව ජල ගාස්තු 5.94%කින් අඩු කෙරුණි.

පවතින ත්‍රස්ත විරෝධී පනත පවත්වාගෙන යෑමට තීරණයක්.!

පවතින ත්‍රස්ත විරෝධී පනත පවත්වාගෙන යෑමට තීරණයක්.!

සභානායක බිමල් රත්නායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසූවේ නව පනතක් සම්මත කරගන්නා තෙක් පවතින ත්‍රස්ත විරෝධී පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බවයි.

කෙසේවෙතත් එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන බවයි.

නව පනතක් සම්පාදනය කරන තෙක් ආණ්ඩුවක් ලෙස පවතින නීතිය තුළ ප්‍රවේශමෙන් කටයුතු කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

“ත්‍රස්ත විරෝධී පනත ගැන කියන්න තියෙන එකම දේ තමයි. ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. නමුත් අලුත් පනතක් සකස්කරන තෙක් රටේ තිබෙන නීතිය අපට ඉතාම පරිස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕනේ පනත් සම්මත වෙනතුරු.  ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්  මේ සභාවට පිළිතුරුදීලා තියෙනවා.”

පොලීසියට බාධා කළ මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට.?

පොලීසියට බාධා කළ මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට.?

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසූවේ ඒ අනුව අද (21) දිනයේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඊට අමතරව අදාළ මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේද පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව අධිකරණයට කරුණු ගොනුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සුජීවට V8 පත්තු වෙද්දී.. මනූෂට E8 පත්තු වෙයි.!

සුජීවට V8 පත්තු වෙද්දී.. මනූෂට E8 පත්තු වෙයි.!

ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ ජීප් රථයක් එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සීමෙන් එකලස් කළැයි කියන සිද්ධියකට අදාළව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් පසුගිය දා (8) කළ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ ඇමැති සුජීව අර්ජුන සේනසිංහ මහතාට ලබන පෙබරවාරි 5 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය නියෝග කළාය.

අදාල V8 වාහනය එකලස් කළ බවට චෝදනා එල්ල වන අතර එහි ලියාපදිංචි අයිතිකරු වන සුජීව සේනසිංහ රුපියල් මිලියන සියයක බැඳුම්කරයක් මත මුදා ඇති අතර එමෙන්ම වාහනය විකිණීම, වෙනස් කිරීම අන්සතු කිරීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර ඇත.

මේ අතර E8 සහයෝගිතා වැඩසටහනට අදාළව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට ඊයේ (20) දැනුම් දුන්නේය.

කෘෂිකාර්මික හා ධීවර සේවය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශගත කිරීමට ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සිදු වූ සහයෝගිතා වැඩසටහනට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව සඳහන් කරමින් පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මේ දැනුම් දීම කළේය.

ආණ්ඩුවේ “ක්ලීන් ශ්‍රී ලංකා” පාර්ලිමේන්තුවට.!

ආණ්ඩුවේ “ක්ලීන් ශ්‍රී ලංකා” පාර්ලිමේන්තුවට.!

ජාතික ජන බලවේග ආණ්ඩුවේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් දෙදින විවාදයක් අද (21) දින සහ හෙට (22) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

එළඹෙන (23) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට්‌ පත්‍රයේ පළ කළ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට්‌ පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට්‌ පත්‍රයේ පළ කළ රෙගුලාසි, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට්‌ පත්‍රයේ පළ කළ නියෝගය විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

අනතුරුව කාලය විරුද්ධ පාර්ශවය විසින් ගෙන එනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදයක් එදින ප.ව 3.30 – ප.ව 5.30 දක්වා පැවැත්වෙයි.

ඇමති බිමල් හොරාට ගිටපු ගමනක් මිනිස්සු වීඩියෝ කරලා.!

ඇමති බිමල් හොරාට ගිටපු ගමනක් මිනිස්සු වීඩියෝ කරලා.!

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) උදෑසන මොරටුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන කාර්‍යාල දුම්රියේ නැගී සේවයට වාර්තා කර තිබේ.

අමාත්‍යවරයා මෙලෙස පෙර දැනුම්දීමකින් තොරව දුම්රියට නැග ඇත්තේ දුම්රිය සේවයේ ඇති සැබෑ ගැටළු හඳුනාගැනීමේ අරමුණින්.

මෙහිදී දුම්රිය මගීන් අමාත්‍යවරයා සමඟ සුහද කතා බහක නිරතවෙමින් ගමන් ගන්නා අයුරු මගීන් විසින් ජංගම දුරකථන හරහා රූගත කර සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුනි.

ගමන අතරවාරයේ ඇතැම් දුම්රිය ස්ථාන වලින් බැස දුම්රිය ස්ථාන නිරීක්ෂණය කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබූ අතර අමාත්‍යවරයා ගමන් ගත් දුම්රිය පැමිණ තිබුනේ මිනිත්තු 13ක් ප්‍රමාදවී බව සඳහන්.

ගමන අතරතුර දුම්රියේ අපිරිසිදු ස්ථාන සහ විදුලි පංකා ක්‍රියාත්මක නොවීම ආදී කරුණුද අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබේ.

අක්කර 600ක් වනසමින් ගල් ඔය බැම්ම කැඩී යයි.!

අක්කර 600ක් වනසමින් ගල් ඔය බැම්ම කැඩී යයි.!

දින කිහිපයක් පුරා අවධානමට ලක්ව තිබූ ගල් ඔයෙහි බැම්ම නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී ඇත.

ඉන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 600ක් පමණ ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔ යයි ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදු වූ බව ගම්වාසීන් චෝදනා කරයි.

කෙසේ වෙතත් ඉවුර කැඩීයාමෙන් ජීවිත හානි කිසිවක් නොමැත. 

ජනවාරි අග ලොකු කෙඳිරියක්.. පොඩි පොඩි දිනුම් නෙවේ, ජය මල්ල ඇදෙනවා.!

ජනවාරි අග ලොකු කෙඳිරියක්.. පොඩි පොඩි දිනුම් නෙවේ, ජය මල්ල ඇදෙනවා.!

ඊයේ (19) පස්වරුවේ කලුතරදි පැවැති ජනහමුව අමතමින් අනුර කුමාර දිසානායක ජනාදිපතිවරයා පැවසූවේ පසුගිය කාළසීමාව පුරා සිදුවූ මහා පරිමාණයේ වංචා දූෂණ සම්බන්ධයෙන් සියළු පරීක්ෂණ ඉතා ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසිරුවා හරින ලද අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් යලි එම ආයතනය තුළ ස්ථානගතකර වසා දැමුනු ලිපිගොනු සියල්ල යළි ක්‍රමානුකූලව විවෘත කර ඊට අදාළ විමර්ශණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද ජනපතිවරයා අවදාරණය කළේය.

“තව ලොකු දිනුම් පස්සට හොඳේ. විධිමත්ව කරන්නේ. මේ කටඋත්තරයක් අරන් රිමාන්ඩ් කරන එක නෙවේ වැඩේ. කටඋත්තරයක් ගත්තා රිමාන්ඩ් කරා, සති දෙකකින් ඇප දුන්නා. වැඩක් නෑ. අපි ඉතාමත් ශක්තිමත් ලෙස නඩු ගොනු කරනවා. නඩුවෙන් වරදකරුවෙක් කරලා හිරේ යවන්න ඕනෙ. ඒ නිසා එම නඩු ගොනු කිරීමේ කාර්‍ය කොතනකවත් පැටලෙන්න බෑ. සමහර ඒව පැටලුවේ අත්සන් කරන්න ඕනෙ කෙනා නෙවේ අත්සන් කළේ කියලා. සමහර ඒව පැටලුවේ හොරකම විශාල එකක්. හැබැයි චෝදනාව පොඩි එකක්. සමහර නිලධාරීන් මට කිව්වා සමහර ෆයිල් බොහොම අමාරුවෙන් හංගලා තියාගත්තේ කියලා. ඒ නිසා අදාළ ක්‍රමවේදය ශක්තිමත් කරලා වේගයෙන් නඩු පවරන්න කටයුතු කරනවා. කලබලවෙන්න එපා.

කීපයක් මේ ජනවාරි අග වැටෙනවමයි. පෙබරවාරි මාසෙත් වැටෙනවා. හොඳ ශක්තිමත් නඩු. සමහර අය ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා ඉන්නේ.. මමත් ගන්න හවුල් උනා තමයි ඒත් වැඩිපුරම ගතත්තේ අරයා කියලා. පොඩි කෙනා බේරමු, මොකද ලොකු කෙනා අල්ලගන්න ඕන නිසා”


දීගය තීන්දුයි.. එජබ ගේ දොර බලන්න සජබ පැමිණෙයි.!

දීගය තීන්දුයි.. එජබ ගේ දොර බලන්න සජබ පැමිණෙයි.!

දේශපාලන පක්ෂ දෙකක් ලෙස පසුගිය ජනාධිපතිවරනයට සහ මහ මැතිවරනයට මුහුණ දුන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සිය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද (20) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ අදාල සාකච්ඡාව සම්බන්ධයෙන් දෙපාර්ශවයේ කමිටු සාමාජිකයින් අතර එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

එහිදී දෙපාර්ශවයේම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද නියමිත බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

පොහොසත් රටක් හදන ජනපතිගේ අළුත්ම ව්‍යාපෘතිය මෙන්න.!

පොහොසත් රටක් හදන ජනපතිගේ අළුත්ම ව්‍යාපෘතිය මෙන්න.!

ඊයේ (ජන. 19) කළුතර පැවැති ජනරැලියකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හා සම්බන්ධව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම ඇතුළු තෙල් අපනයන කටයුතු සඳහා ඉන්දියාව සමග ඒකාබද්ධ සමාගමක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ මෙමඟින් ලෝක වෙළෙඳපොළට ඛනිජ තෙල් අලෙවි කරන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කළ හැකි බව ය.

ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි 99න් 61ක් මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා භාවිත කළ හැකි බවද ජනපතිවරයා පෙන්වා දුන්නේය.

“අපිට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක් තිබෙනවා. එක තෙල් ටැංකියක මෙට්‍රික් ටොන් දහදාහක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ඔය තෙල් ටැංකිවල ගබඩා කරන්න පුළුවන්. එම තෙල් ටැංකි දැන් දශක ගණනාවක් තිස්සේ දිරාපත් වෙමින් තිබෙනවා.

එය ආරම්භයේදී බ්‍රිතාන්‍ය සමාගමකට අයත්ව තිබුණා. සිරිමා බණ්ඩාරනායක සමයේ පවුම් ලක්‍ෂ දෙකහමාරක්දී මෙය ආණ්ඩුවට ගත්තා. ඇත්තෙන් ම මේ තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදන්න වැඩියි. තෙල් බෙදන්න මෙච්චර ගබඩා ඕන නැහැ. මුතුරාජවෙල, කොළොන්නාවේ තෙල් ගබඩා තිබෙනවා. ත්‍රිකුණාමලයේ තවත් තෙල් ටැංකි 99ක් අවශ්‍ය නැහැ. ඒ පළාතේ තෙල් බෙදන්න අපට තෙල් ටැංකි විසිහතරක් ප්‍රමාණවත්.

අප එය ගණනය කර බැලුවා. අප එම තෙල් ටැංකි 24 අපේ සංස්ථාවට ගත්තා. අයි.ඕ.සී. සමාගමට තවත් ටැංකි 9ක් 10ක් පමණ දෙන්න එකඟ වුණා. තවත් තෙල් ටැංකි හැට එකක් ඉතිරි වුණා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් හයලක්ෂ දසදහසක් ගබඩා කරන්න පුළුවන්. හැබැයි අප රටට එතරම් තෙල් අවශ්‍ය නැහැ. ඒ නිසා අපගේ තෙල් සංස්ථාව සහ ඉන්දියාව එක්ව ඒකාබද්ධ සමාගමක් නිර්මාණය කරන්නට අප ඉන්දියාවට යෝජනා කළා. අනතුරුව පිරිපහදුවක් දාන්නත් යෝජනා කළා.

We are happy to invite you.