Out of the box (Sinhala)

චීන තිසරපට නවතන්න ඩොලර් මිලියන 35ක්.!

චීන තිසරපට නවතන්න ඩොලර් මිලියන 35ක්.!

ඉතාලියේ බෙන්ජි ඇඟලුම් සමාගම ඩොලර් මිලියන 35ක ආයෝජනයක් හරහා ලොව සුපතල සන්නාම වෙනුවෙන් මෙරට නිපදවෙන තිසරපට සඳහා යොදාගන්නා “බ්‍රා කප්” ලංකාවේදී ම නිෂ්පාදනය කරගැනීම වෙනුවෙන් තාක්ෂණය පුළුල් කිරීමට අදාළව නව ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව තුළ සිරිඕ, ඇල්ෆා ආදී නම්වලින් ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යන ඉතාලි මව් සමාගමකට අයත් බෙන්ජි සමාගම 2006දී කාන්තාවන් සඳහා තිසරපට නිපදවීම ආරම්භ කර ඇත.

ආයෝජනය හරහා එම සමාගම ‘බ්‍රා කප්’ නිපදවීම සඳහා අවශ්‍ය අලුත්ම යන්ත්‍ර උපකරණ මෙරටට ගෙන ඒමට සැළසුම් කර ඇති අතර මේ ආයෝජන මගින් දැනට නිපදවන මිලියන 30ක ‘බ්‍රා කප්’ ප්‍රමාණය සියයට 35කින් ඉහළ යනු ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.

එමගින් තිසරපට නිපදවීම සඳහා චීනයේ සිට ‘බ්‍රා කප්’ ආනයන කිරීම සම්පූර්ණයෙන් ම නැවැත්වීමට හැකි වනු ඇති බව ත් මේ සඳහා පිටරටට ඇදීයන විදෙස් විනිමය මේ ඔස්සේ නතර වන බව ත් එම මණ්ඩලය සඳහන් කරයි.

ලංගමෙන් බාගයක් රට වටේම විෂ බෙදලා.!

ලංගමෙන් බාගයක් රට වටේම විෂ බෙදලා.!

‘වායු විමෝචන භාරකාර අරමුදලේ’ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පුවත්පතකට පිළිතුරු දෙමින් පවසන්නේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින් 50%ක් පමණ පසුගිය වසරේදී දුම් පරීක්ෂණය මඟහැර ඇති බවයි.

රුපියල් ලක්ෂ 170කට වැඩි පිරිවැයක් දරා දුම් පරීක්ෂණ උපකරණ ලංගම වෙත ලබාදී ඇති පසුබිමක මෙසේ රජයේ බස් රථ දුම් පරීක්ෂාව මඟහැර ඇති බව ඔහු පවසයි.

වාහනවලින් නිකුත් වන අහිතකර දුම නිසා පළමු ගොදුර බවට පත්වනුයේ රථ වාහන පරීක්ෂාවේ යෙදෙන පොලිස් නිලධාරීන් බවත් රථ වාහන පනතට අදාළ නැති උපකරණ ගැලවීමට කටයුතු කළද වාහන දුම් සම්බන්ධයෙන් පොලීසිය අවධානය දක්වා නැති බව මෙයින් පැහැදිලි වන්නේ යැයිද ඒ මහතා පවසයි.

වසරකට ශ්‍රී ලංකාවේ රථ වාහන ලක්ෂ 76ක් පමණ දුම් පරීක්ෂාවට ලක් කරන අතර ඉන් ලක්ෂ 10කට වැඩි ප‍්‍රමාණයක් පළමු වටයෙන් අසමත් වන බව ඔහු පවසයි.

පසුගිය වසරේදී රථ වාහන 225ක් දුම් පරීක්ෂණ අසමත්වීම හේතුවෙන් අසාධු ලේඛනගත කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඩීසල් වාහන බවද ගමගේ මහතා වැඩිදුරට ත් පැවසීය.

රාජ්‍ය මුදල් ලක්ෂ 400ක් ගිල දමා සුර සැප විඳි වරායේ ලොක්කෙක්.!

රාජ්‍ය මුදල් ලක්ෂ 400ක් ගිල දමා සුර සැප විඳි වරායේ ලොක්කෙක්.!

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් රජයේ මුදල් ලක්ෂ හාරසියයකට අධික මුදලක් අවභාවිත කළ වරාය අධිකාරියේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂවරයකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හා ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ.

එම නිලධාරියා මුදල් අවභාවිතයට අමතරව කූට ලේඛන ඉදිරිපත් කර ඔහුට අවශ්‍ය උපදේශකයෙකුද පත් කරගෙන ඇති අතර එම උපදේශකයාට මාස 7කදී ලක්ෂ 33ක මුදලක් ගෙවා ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම නිලධාරියා විසින් මෝටර් රථ දෙකක් සඳහා කෝටියකට අධික මුදලක් සහ ඉන්ධන සඳහා ලක්ෂ 27ක් පමණ වියදම් කර ඇති බවත් මෙම පුද්ගලයාගේ විදුලි බිල හා ජල බිලද මාස 15ක් පුරා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ගෙවා ඇති අතර එම මුදල් ප්‍රමාණය ලක්ෂ 20කට ආසන්න බවත් මෙම පැමිණිල්ලට අනුව වාර්තා වේ.

ඊට අමතරව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පෞද්ගලික ආයතනයකට ලක්ෂ 250ක මුදලක් නීතිවිරෝධීව ගෙවන ලෙස වරාය අධිකාරියට මොහු නියෝග කර ඇති බවත් ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පවසයි.

වරාය අධිකාරියේ ක්‍රියාපටිපාටියකට එරෙහිව යමින් එම අධිකාරියට සේවකයන් 50 දෙනකු බඳවා ගැනීමට රුපියල් මිලියන 2ක් එක් ආයතනයකට ගෙවා ඇති බවද එම නිසා අදාළ සේවකයන්ට සහ වරාය අධිකාරියේ සේවය කරන පුද්ගලයන්ටද බරපතළ අසාධාරණයක් සිදුව ඇති බවද වරාය පොදු සේවක සංගමයේ ලේකම්වරයා අනාවරණය කළේය.

වතු දෙමළ නෙරපන්නට රජයෙන් තීරණයක්.!

වතු දෙමළ නෙරපන්නට රජයෙන් තීරණයක්.!

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පවසන්නේ වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ “වතු” යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කර ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් දෙමළ මහා විද්‍යාලයේ පැවති 2025 සබරගමු පළාත් තෛපොන්ගල් උත්සවයට එක්වෙමිනි.

මෙරට වතු ජනතාව ලෙස හදුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කදුකර ප්‍රදේශ වල තේ වගා කටයුතු සදහා ඉන්දියාවෙන් මීට වසර දෙසිකට පමණ පෙර පැමිණි දෙමළ භාෂාව කතා කරන ජනතාව වන අතර අධිරාජ්‍යවාදීන්ගේ සමයේ සිට මේ ජනතාවට පොදු පහසුකම් ලබා දුන්නේ ඉතාම අවම වශයෙනි.

වසර ගණනාවක සිට තමන් වතු ජනතාව ලෙස පිළිනොගන්නා ලෙසත්, උඩරට දමිළ හෙවත් මලෛගම් ලෙස පිළිගන්නා ලෙසත් රජ්‍ය නොවන සංවිධාන හරහා පැවති රජයන්ගෙන් ඉල්ලීම් කර තිබුණි.

ඔවුන් ශ්‍රී ලාංකික දෙමළ ලෙස පිළිගැනීමට ද එකඟ නොමැති අතර උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සමග ඔවුන් එකතු වීමටද කැමැත්තක් නැත.

ඔවුන් පවසන්නේ සිංහල රජාව අතර උඩරට සිංහල ලෙස පිළිගැනීමක් ඇති නිසා තමන්ටද උඩරට දෙමළ ලෙස පිළිගන්නා ලෙසයි.

උඩරට දෙමළ යන්න දෙමළ බසින් හදුන්වන්නේ මලෛගම් යනුවෙනි.

මහ මෝල් පරදවන මහා මෝලක් රාජ්‍ය අංශයෙන්.. ආයෝජකයන් ඉදිරිපත් වී අවසන්.!

මහ මෝල් පරදවන මහා මෝලක් රාජ්‍ය අංශයෙන්.. ආයෝජකයන් ඉදිරිපත් වී අවසන්.!

පොළොන්නරුව ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක වන පෞද්ගලික සහල් මෝල්වල නිෂ්පාදන ධාරිතාව ඉක්මවා යන පරිදි නවීන තාක්ෂණයෙන් සමන්විත විශාල පරිමාණ වී මෝලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව සමුපකාර අමාත්‍යාංශ ලේකම් එල්.පී. මදනායක මහතා ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතිය ඉදිරි වර්ෂය තුළ ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් දැනටමත් සකස් කර අවසන් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පොළොන්නරුව ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගිය 21 වැනි දින සවස පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. එම සාකච්ඡාව මෙවර මහ කන්නයේ රජය විසින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැවති අතර, එහිදී මදනායක මහතා සඳහන් කළේ මෙම නව ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් දැනටමත් ඉදිරිපත්ව සිටින බවත්, ඊට අදාළ ඉඩම් ද හඳුනාගෙන ඇති බවත්ය.

වී මිලදී ගැනීමේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මදනායක මහතා පැවසුවේ රජය විසින් සමුපකාර සමිති හරහා ගොවීන්ගේ වී මිලදී ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙන බවයි.

මෙම ක්‍රියාවලිය තුළින් සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇති අතර, එමගින් ගොවි ජනතාවට සාධාරණ මිලක් ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා අවධාරණය කළේය.

රජය මෙම වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවෙකු ලෙස කටයුතු කරන අතර, එමගින් පෞද්ගලික වෙළඳුන් සමඟ සාධාරණ තරඟකාරීත්වයක් ඇති කිරීමට ද අපේක්ෂා කරයි. මෙම ක්‍රියාමාර්ගය තුළින් පොළොන්නරුවේ මහා පරිමාණ වී ව්‍යාපාරිකයින් විසින් ගොවීන්ගේ වී අඩු මිලට මිලදී ගැනීමේ උපක්‍රමශීලී ක්‍රියාමාර්ග වැළැක්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පැවති සාකච්ඡාවට ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් සමුපකාර ප්‍රධානීන් සහ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වන විශාල නිලධාරී පිරිසක් සහභාගී වූහ. මෙම නව වැඩපිළිවෙළ තුළින් ගොවි ජනතාවගේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය බලාපොරොත්තු වන අතර,


එය ප්‍රදේශයේ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හේතු වනු ඇත.

නව වී මෝල ඉදිකිරීමත් සමඟ පොළොන්නරුව ප්‍රදේශයේ සහල් නිෂ්පාදන ක්ෂමතාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති අතර, එය ප්‍රදේශයේ රැකියා අවස්ථා බිහිවීමට ද හේතු වනු ඇත. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේය.

පොල් හිඟයට විද්‍යාත්මක හේතුව සොයාගනී.. අර්බුදය නසන්න දැවැන්ත ව්‍යාපෘතියක්.!

පොල් හිඟයට විද්‍යාත්මක හේතුව සොයාගනී.. අර්බුදය නසන්න දැවැන්ත ව්‍යාපෘතියක්.!

පොල් හිඟය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය පුරා විවිධ සංවාදයන් ඇතිවී තිබෙනා අතර දේශපාලන වේදිකාව තුළද විවිධ අවස්ථාවල කතාබහට ලක්වේ.

බොහෝ විපක්ෂ කණ්ඩායම මේ චෝදනාව එක හෙළා වත්මන් ආණ්ඩුවට එල්ල කරන නමුත් ඒ සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ පරීක්ෂණ දත්ත අනුව එහි යථාර්තය අවබෝධ කර ගත හැකියි.

එම වාර්තාව අනුව රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව මහාචාර්ය වරයා පවසයි.

ඔහු පවසන්නේ 2000 වසර වන විට පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000ක අගයක පැවති බවත් ඒ අවස්ථාව වන විට මෙරට ජනගහනය මිලියන 18ක අගයක් ගත් බවයි.

නමුත් 2024 වසර වන විට මෙරට ජනගහනය මිලියන 23 දක්වා වැඩි වී ඇතත් පොල් නිෂ්පාදනය වර්ධනයක් සිදුව නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම මීට පොල් හිඟට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි මහාචාර්යවරයා පවසයි.

ඒ අනුව ඊට පිළියම් යෙදීම සඳහා පොල් හිඟයට දීර්ඝකාලීන විසඳුමක් ලෙස පොල් පැළ මිලියන 3ක් මේ වසර තුළ සිටුවීමට පොල් වගාකිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.

ආසන්න වසර කිහිපය ගත්විට පොල් මිල සැසඳීමේදී 2020 දී පොල් ගෙඩියක් වෙළෙඳපොළ තුළ රුපියල් 60ත් 70ත් මිලකට අලෙවි විය. 

2022 අගභාගය වන විට පොල් ගෙඩියක මිල දැක්වුණේ, රුපියල් 100ක අගයකයි. 

2023 අවසානය වනවිට පොල් ගෙඩියක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 80 – 120ත් අතර මිලක පැවතියේය. 

කෙසේවෙතත් ගෙවුණු 2024 අවසානය වනවිට පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 160 සිට 200 දක්වා ඉහළ ගොස් තිබුණි.

දැනට නිකුත් වී ඇති දත්ත අනුව ගෙවුණු 2024 දී පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 700කින් පමණ පහත වැටී තිබේ.

පසුගිය  වසර හතරේදී වාර්ෂික පොල් නිෂ්පාදනය සටහන් වුයේ 2020 දී පොල් ගෙඩි මිලියන 2792ක්, 2021 දී පොල් ගෙඩි මිලියන 3120ක්, 2022 දී පොල් ගෙඩි මිලියන 3391ක් සහ 2023 දී පොල් ගෙඩි මිලියන 2682ක් වශයෙනි. 

මෙලෙස පොල් අස්වැන්න අඩුවීමට ප්‍රධාන කාරණ රැසක් බලපා තිබේ.

ඒ, පොහොර යෙදීම අවමවීම, වන සතුන්ගෙන් සිදුවන හානි , කාලගුණික වෙනස්වීම් මෙන්ම මෑතකාලීනව පොල් වගා ඉඩම් කට්ටි කර වෙනත් ව්‍යාපෘති සඳහා විකිණීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. 

මේ හේතුවෙන්, 2000 අංක 1 දරන ගස් හෙලීම පාලනය කිරීමේ සංශෝධන පනත යටතට පොල් ගස එක්කිරීම 2021 දී පියවර ගනු ලැබුවේ, අති විශේෂ ගැසට් පත්‍රය මගිනි.

සමෘද්ධිය අස්වැසුම ඇතුළු සහනාධාරවලට තිත.?

සමෘද්ධිය අස්වැසුම ඇතුළු සහනාධාරවලට තිත.?

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බවයි.

අද (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම උත්සවය සංවිධානය කර තිබුනේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය විසිනි.

රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් තිබේනම් කිසිවෙකු සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බව සඳහන් කළ අමාත්‍යවරයා සියළු ජනතාවට ප්‍රතිලාභ ලැබිය හැකි එවැනි ආර්ථිකයක් ගොඩ නැඟීමට රජය බලාපොරොත්තු වන බවත් ඒ හරහා ක්‍රමානුකූලව සහනාධාර සංස්කෘතික අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

ඇමතිවරුන්ගේ ඥාති සංග්‍රහය තහනම් කරයි.!

ඇමතිවරුන්ගේ ඥාති සංග්‍රහය තහනම් කරයි.!

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය හරහා සුවිශේෂී රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.

ඒ අතරින් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි බවට රෙගුලාසියක්ද පනවා තිබේ.

එමෙන්ම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය සඳහා වෙන් කරන නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකකට සීමා විය යුතු අතර එම වාහන සඳහා මසකට උපරිම වශයෙන් ඉන්ධන ලීටර් නවසීයක ප්‍රතිපාදන වෙන් කෙරෙන බවද අදාල චක්‍රලේඛයේ සඳහන් වෙයි.

අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වෙත සපයනු ලබන උපරිම රාජකාරී දුරකථන සංඛ්‍යාව හතරක් වන අතර කාර්යාල සහ නිවාස දුරකථන සඳහා රුපියල් 20000ක්, ජංගම දුරකථනය සඳහා රුපියල් 10000ක ප්‍රතිපාදන ද වෙන්කර තිබේ.

ආණ්ඩුව රජවරු බිමින් තියද්දී, විපක්ෂය රජ මන්දිර කරට ගනී.!

ආණ්ඩුව රජවරු බිමින් තියද්දී, විපක්ෂය රජ මන්දිර කරට ගනී.!

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (23) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ කෙතරම් උත්සාහ දැරුවත් ජනතාව මත පටවා ඇති හිටපු ජනාධිපතිවරුන්, ආර්යාවන් හා ඇමතිවරුන් නඩත්තු කිරීමේ බරෙන් ජනතාව නියත වශයෙන් නිදහස් කිරීමට කටයුතු කරනා බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ “මහින්ද රාජපක්ෂගේ මන්දිරය බේරා ගැනීමේ සංසදය” මැයෙන් පක්ෂ භේදයකින් තොරව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් සංසදයක් නිර්මාණය කරගෙන ඇති බවයි.

මාසික කුලිය රුපියල් ලක්ෂ 46 ක් පමණ වන වර්ග අඩි 30,554 ක පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම නිවස අතීතයේදී කුඩා එකක් බවත් පසුව විවිධ ඉඩම් කොටස් එකතු කර මේ වනවිට අක්කරයක පමණ ඉඩමක මෙම නිවස ගොඩ නගා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය වසර කිහිපය තුළ පමණක් මෙම නිවස අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ 430 කට වඩා අධික මුදලක් වැය කර ඇති බවත් එහි අලුතින් විදුලි සෝපාන යන්ත්‍ර පවා සවිකර ඇති බවත් ය.

නිවසින් ඉවත්වන ලෙස පවසනකම් නොසිට ඉවත්ව යන ලෙසත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

විජේසිරිගේ බාල චෝදනාව පාරාවළල්ලක් වෙයි.. ආණ්ඩුවෙන් දැඩි තීන්දුවක්.!

විජේසිරිගේ බාල චෝදනාව පාරාවළල්ලක් වෙයි.. ආණ්ඩුවෙන් දැඩි තීන්දුවක්.!

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තුවේ කැන්ටිම ක්ලීන් කරනා බවත්, ප්‍රමාද වුවහොත් කෑමට ඉතිරිවන්නේ දංකුඩ පමණක් බවත් යැයි කියමින් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ආන්ඩු පාර්ශවය විසින් තීරණයක් ගෙන තිබේ.

එම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූවේ පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බවයි.

ඔහු කියා සිටියේ අදාළ යෝජනාවට අද (23) දිනයේ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් පසුවන බවයි. 

ඒ අනුව පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ලබාගන්නා සියළුම ආහාර පාන සඳහා ඊට අදාළ වෙළඳපොල මිල ප්‍රමාණයන් අයකිරීමට කටයුතු කරනා බවද ඒ අනුව ආහාර වේලක් සඳහා රුපියල් 2000-3000ක් අතර මිලක් අයවිය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට පාර්ලිමේන්තු ආහාර වේලක් සඳහා අයකරන මුදල රුපියල් 300ක් වන අතර එය 2022 වසරේ සිට ක්‍රියාත්මකයි.

We are happy to invite you.