මිලියන 4,261ක් ගුවන් හමුදාවට ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි

රුපියල් මිලියන 4,261ක් (රු. 4,261,000,000.00) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද (05) පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවති විවාදයෙන් අනතුරුව සම්මත විය.

ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් වෙනත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය විසින් ලබාගන්නා ඕනෑම ණය මුදලකින් මෙම මුදල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරිණි.

වෙනස්වන මෙහෙයුම් පරිසරය මෙන්ම බෙංගාල බොක්ක සහ ඒ අවට ප්‍රදේශවල පවතින ආපදාවන්ට ගොදුරු විය හැකි තත්ත්වයන් හා නිරන්තර අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුවන ආසන්න තර්ජන සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම මුදල් යෙදවීමට නියමිතය.

මේ අතර, භාර (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේදී අද (05) දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත විය.

87 වන අධිකාරය වන භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් 2026 ඔක්තෝබර් (21) වැනි දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel