By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකාවේ ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීමේ අරමුණින්, ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. මෙම තීරණයත් සමඟ දේශීය වෙළෙඳපොළේ සහල් මිල ගණන් පහත බසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දියාවෙන් ආනයනය කෙරෙන ස්වර්ණ නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල ඉන්දියානු රුපියල් 25ක් පමණ වන අතර, ශ්‍රී ලංකා මුදලින් රුපියල් 85ක් පමණ වේ. නැව් ගාස්තු සහ අනෙකුත් ගාස්තු සමඟ කොළඹ වරායට එන විට මෙම මිල රුපියල් සියයක් ආසන්න වනු ඇත.
සහල් ආනයනකරුවන් පවසන්නේ මෙම ආනයනය හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ සහල් මිල සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බවයි.
කුඩා මෝල් හිමියන්ගේ සංගමය ද මෙම මතය තහවුරු කරමින් පවසා සිටියේ ඉන්දියාවෙන් ආනයනය කරන සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 130ක් පමණ මුදලකට වෙළඳපොළේ අලෙවි කළ හැකි බවයි.
මේ වන විට දේශීය වෙළෙඳපොළේ නාඩු සහල් උග්‍ර හිගයක් පවතින අතර, කිලෝග්‍රෑමයක මිල රුපියල් 240 ඉක්මවා ගොස් ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මෙම ආනයනයට ප්‍රමුඛතාව ලබා දී ඇත.
සැපයුම්කරුවන් තෝරා ගැනීම සඳහා ලක්සතොස හරහා ටෙන්ඩර් කැඳවා ඇති අතර, ආනයනකරුවන්ට දින 7ක කාලයක් ලබාදී ඇත. ආනයනය කරන සහල් ලක්සතොස අලෙවිසැල් හරහා මෙන්ම සුපිරි වෙළඳසැල් සහ සාමාන්‍ය තොග වෙළඳසැල් හරහා ද බෙදා හැරීමට සැලසුම් කර ඇත. උත්සව සමයට පෙර මෙම සහල් වෙළඳපොළට නිකුත් කිරීමට රජය අපේක්ෂා කරයි.