ලංකාවට වටිනා ඇත්තු 17 දෙනා රකින මෙහෙයුම සිදු කරන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ වන අලි – ඇතුන්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සහිත ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ගම්මාන ආශ්‍රීතව වෙසෙන ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව සඳහා හමුදා අනුඛණ්ඩ යෙදවීමට පියවර ගෙන ඇත.

අවදානම් මට්ටමේ සිටින දළ ඇතුන් සහ අනෙකුත් අවශ්‍ය දත්ත WILD TUSKERS ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ අංශ වෙත ලබාදීමට කටයුතු කර ඇත.

එම දළ ඇතුන් 13 දෙනා තෝරාගෙන තිබෙන්නේ ප්‍රධාන කරුණු 5ක් පදනම් කරගත් අවදානම් තත්ත්වය පිළිබඳව ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ඔස්සේය.

1.ඇතාගේ හැසිරීම

2.ඇතාගේ සංචරණ කලාපය

3.කොතරම් දුරට ජනාවාස හා ගොඩබිම සමග සමපාත වීම

4.එම කලාපයේ අලි මිනිස් ගැටුමේ ස්වභාවය

5.ඇතා දර්ශනය වීමේ පහසු බව සහ ඇතාගේ ජීවදත්ත වටිනාකම හා දුර්ලභතාව

ඒ අනුව අවදානම් දර්ශකයේ 96.7%ක් හිමි අග්බෝ හස්තියා පළමු ස්ථානයේ සිටින අතර අවදානම් දර්ශකයේ 95%ක දෙවන මට්ටමේ සිටින්නේ වාසල හස්තියා වේ.

ඇතුන් 12 දෙනා මෙන්න..

1.කුමන, ආරුගම්බේ ප්‍රදේශයේ සැරිසරන මහානාම

2.බූන්දල, වීරවිල සැරිසරන කාශ්‍යප

3.දිගම්පත හා මින්නේරියේ වෙසෙන විජයබා

4.කලාවැව ප්‍රදේශයේ වෙසෙන සුරනිමල

5.මහකනදරාවේ අග්බෝ

6.උඩවලවේ සුමේධ

7.මැදවච්චිය, හලාවත ප්‍රදේශයේ සැරිසරන සූර්යයා

8.ලුණුගම්වෙහෙර සැරිසරන මහාසේන

9.මහවිලච්චියේ සැරිසරන දීඝාභය

10.යාන්ඔය, වාහල්කඩ, පදවිය යන පෙදෙස්වල සැරිසරන ගජබාහු

11.මුලතිව්හි වෙසෙන වන්නියා

12.මාදුරු ඔය ප්‍රදේශයේ සැරිසරන ඇතෙක්

එලෙස හදුනාගත් ඇතුන් 13 දෙනාට අමතරව මෙම වාර්තාවට තවත් ඇතුන් සිව්දෙනකු එක් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම ඇතුන් 17 දෙනා මගින් ශ්‍රී ලංකාව තුළ අලි මිනිස් ගැටුම උග්‍ර ප්‍රදේශ දළ වශයෙන් 80%ක් පමණ ආවරණය වීම විශේෂත්වයකි.

එමගින් එම දළ ඇතුන් 17 දෙනා පමණක් නොව එම ප්‍රදේශ ආශ්‍රිතව සිටින අනෙක් අලි අතුන්ට ආරක්ෂාව සැලසීමට නියමිතය.

යුද හමුදා කණ්ඩායම් අඛණ්ඩව අවදානම් සහගත ඇතුන් 17 දෙනා නිරීක්ෂණය කරන අතර එය සිදු කරන්නේ ඇතා සංචරණය කරන ප්‍රදේශයේ ආසන්නතම හමුදා අනුඛණ්ඩය මගීන්ය.

යම් හෙයකින් ඇතා වෙනත් හමුදා අනුඛණ්ඩයක් ආසන්නයට වෙත ලගා වුවහොත් එතැන් සිට ඇතා නිරීක්ෂණය කිරීමේ වගකීම ඔවුන්ට පැවරෙන අතර ඇතා හැසිරෙන ස්ථාන, සෞඛ්‍ය තත්ත්වය, අවට සැරිසරන අනෙකුත් අලි ඇතුන් පිළිබඳව දත්ත මෙහිදී ලබාගැනිමට නියමිතය.

තවද ඇතා ඒ අවට සිදුකරන වගා හානි සහ ජීවිත හානි පිළිබඳව තොරතුරු එම දත්ත පද්ධතියට එක් කිරීමට නියමිත අතර අනතුරුව එම සියලු තොරතුරු යුද හමුදාව සතු ජාතික දත්ත පද්ධතියට එක් කිරීමට නියමිත අතර ඇතා ආරක්ෂා කිරීමට අවශ්‍ය පරිදි ක්‍රියාමාර්ග එහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel