Advertisements

සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් කැඳවීමට නියෝග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට සහාය පළකරමින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් අද (10) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවනු ලැබීය.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, ඇතුළු පාර්ශව කීපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණේය.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට සහාය පළකරමින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් සියල්ල ලබන (17) වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

එහිදී, මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීමට හැකියාව තිබෙන්නේ මුල් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය නොතීසි නිකුත් කරනු ලැබුවොත් පමණක් බව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළාය.

කෙසේ වෙතත්, මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනගේ කරුණු දැක්වීම් අවසන් වීමෙන් පසුව බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සදහන් කළේය.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest