ඉරාන ජනපති

ඉරාන ජනපතිගේ අභාවයෙන් පසු එරට මීළඟ ජනපතිවරයා සම්බන්ධයෙන් අර්බුදයක්.!

ඊයේ (19) ඉරාන කඳුකර ප්‍රදේශයක සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බව අද (20) තහවුරු වීමත් සමඟ එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට යම් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපති වරයාගේ හදිසි අභාවයකදී අන්තර්වාර ජනපතිවරයෙක් පත්කළ යුතු අතර ඒ සඳහා මේ වනවිට එරට “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා පත්කිරීමට සිදුව ඇති බව සඳහන්.

68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් නම් පුද්ගලයෙකු එම තනතුර මේ වනවිට දරනු ලබන අතර ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන් පසුව දින 50ක් තුළ ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතු අතර එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් වන්නේ පාර්ලිමේන්තු කථානායක සහ අධිකරණයේ ප්‍රධානියා වේ.

නමුත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැක්කේ ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අනුමැතිය මත පමණක් වන අතර ඒ සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් උදාවී ඇති බව සඳහන්.

ඉරානය තුළ සිදුකෙරෙන ඕනෑම කටයුත්තක අවසාන තීරණය ගත යුත්තේ එරට අධ්‍යාත්මික නායකයා බව පැවසේ.

ජනපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බවට ඉරානයෙන් ප්‍රකාශයක්.!

ඉරානය රජයේ උසස් නිලධාරියකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේ ගුවන් අනතුරකට ලක් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හා විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස තවදුරටත් ජීවතුන් අතර වෙතැයි බලාපොරොත්තු බිඳ වැටෙමින් ඇති බවයි.

අනාවරණය වී ඇති තොරතුරු අනුව ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ඇති බවද ඔහු සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කොට ඇත.

හෙලිකොප්ටර තුළ ගමන් ගත් සියලු දෙනා මිය යන්නට ඇතැයි සැක කළ හැකි බවද ඔහු පවසා ඇත.

යානය කඩා වැටුණු ස්ථානයද ගවේෂණ කණ්ඩායම් විසින් මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඉරාන ජනපති ජීවිතක්ෂයට.? යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් හමුවේ.!

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තුර්කි ඩ්‍රෝන් මෙහෙයුමක් මඟින් ඉරාන ජනාධිපති රයිසි රැගත් හෙලිකොප්ටරයේ කොටස් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගැනීමට හැකිව ඇති බවයි.

කෙසේ වෙතත්, ඉරාන බලධාරීන් සඳහන් කර ඇත්තේ එම තොරතුරු තහවුරු කරගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් පවතින බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසල්වැසි අසර්බයිජානයේ විවෘත කිරීමේ උත්සවයකට අසර්බයිජාන ජනපතිවරයා සමග ඊයේ (19) සහභාගී වීමෙන් අනතුරුව නැවතත් ඉරානය වෙත හෙලිකොප්ටර් රථ පෙළකින් පැමිණෙමින් සිටියදී අදාල ප්‍රදේශයේ දැඩි මිදුම් තත්වයක් තිබී ඇති අතර, එවන් තත්වයක් පැවතියත් ඉරාන ජනපති ගමන් කළ හෙලිකොප්ටර් රථ තුන නොකඩවා ධාවනයේ යෙදී ඇති බවයි.

එහිදී ඉරාන ජනපතිවරයා හා විදේශ ඇමතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්ව ඇති බවට සැක කෙරේ.

ඉරාන ජනපතිවරයා ගමන් කළ හෙලිකොප්ටර් යානය සමග තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ආරක්ෂාව සපයමින් ගමන් කර ඇති නමුත්, එම හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව ඉරානයේ ටබ්රිස් නම් ගමනාන්තය වෙත ලඟා වී ඇතත්, ඉරාන ජනපතිවරයා හා විදේශ ඇමතිවරයා ගමන් කල හෙලිකොප්ටරය පිළිබඳ මේ වනතුරු හෝඩුවාවක් නොමැති බව සඳහන්.

මේ වනතුරු ඉරාන රජයෙන් නිල වශයෙන් හෙලිකොප්ටර් යානය සොයාගැනීම සම්බන්ධව නිශ්චිත නිවේදනයක් නිකුත් කර නොමැත.

We are happy to invite you.