By unusuma.lk on
(LK time)සමාජ මාධ්‍ය ඔස්සේ ලැව් ගින්නක් සේ සංසරණය වූ දඹුල්ලේ ජංගම දුරකථන සොරකම සිදුකළ ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ පදිංචි තරුණ දියණියක් සහ මැදිවියේ පසුවන මවක් ඊයේ (07) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත් මව සහ දියණිය කුඩා පිරිමි දරුවෙකු ද සමග දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි ජංගම දුරකථන අලෙවිසලකට පැමිණ මව විසින් දුරකථන මිල සහ ජංගම දුරකථන උපාංග මිල විමසන අතරතුරදී දියණිය විසින් ඉතා සූක්ෂම ලෙස ජංගම දුරකථනයක් සොරකම් කොට ඇයගේ ගමන් මල්ලේ දමා ගන්නා අතර එම අවස්ථාවේදීම මවද වෙළෙඳසලේම තවත් ජංගම දුරකථන උපකරණයක් ඉතා සූක්ෂම ලෙස සොරාගෙන යතුරුපැදි හිස් වැසුමේ බහගන්නා ආකාරයත් එහි ආරක්ෂක කැමරාවල පටිගත වී ඇත.
පසුව වෙළෙඳසැලේ හිමිකරුට ඇතිවූ සැකයක් මත එහි සවිකොට තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී ඔවුන් භාණ්ඩ සොරකම් කරන අයුරු නිරීක්ෂණය වී ඇත.
පසුව එම මව සහ දියණිය වහසි බස් දොඩමින් තමන් පැමිණි යතුරුපැදියේ නැගි එම ස්ථානයෙන් පලායාමට උත්සාහ කරන ආකාරය එම වෙළඳසැලේ හිමිකාර තරුණයා තම ජංගම දුරකථනයෙන් පටිගත කර ඇත.
එහිදී එම සුරූපී තරුණ දියණිය තම ගමන් මල්ලේ සඟවා තිබූ ජංගම දුරකථනය නැවතත් ලබාදෙන අතර සිදුවීමෙන් පසු අදාළ වීඩියෝ පට සියල්ල අන්තර්ජාලයට එක් කර තිබුණි.
පසුව සිදුකළ පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම මව සහ දියණිය රැකියාවක් ලෙස විවිධ නගරවලට ගොස් විදුලි උපාංග ජංගම දුරකථන සහ විවිධ භාණ්ඩ සොරාගන්නා බවත් අවස්ථා ගණනාවක ගලේවෙල සහ අවට පොලිස් ස්ථානවලින් මෙම මව සහ දියණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කොට තිබෙන බවත් ය.
සොරකම සම්බන්ධයෙන් මෙම මව සහ දියණිය දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා අප කළ විමසුමකදී සඳහන් කළේය.