තඹුත්තේගම, තලාව, ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි 91,810ක ජනතාවකට සෙත සැළසෙන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) දින පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.
චීන සංවර්ධන බැංකුව (CDB) ලබා දුන් සහන ණයක් යටතේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය 2022 මැයි මස සිට 2024 මැයි දක්වා කාල සීමාව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් අතරමග නැවතී තිබුණද, මෙහි ජාතික වැදගත්කම හඳුනා ගනිමින් ශ්‍රී ලංකා රජයේ අරමුදල්ද යොදා ගනිමින් වත්මන් රජය යටතේ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව නිම කෙරිණි.
ප්‍රදේශයේ ව්‍යාප්ත වී ඇති කාලීන වකුගඩු රෝගයට පිළියමක් ලෙස ඉදි කෙරුණු මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ප්‍රදේශයේ ජනතාවගේ සමාජ, ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමටද ඉවහල් වනු ඇත.
මෙමගින් නිවාස ඒකක 25,000ක් සඳහා නව ජල සම්බන්ධතා ලබා දීමට සැලසුම් කර තිබේ.
රුපියල් බිලියන 32ක ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු මම ව්‍යාපෘතිය දිනකට ඝන මීටර් 18,000ක ජල පවිත්‍රාගාරයකින්, ඝන මීටර් 1,500ක ධාරිතාවෙන් යුත් ජල කුලුනු 03කින්, කි.මි 12.75කින් යුත් ජල සම්ප්‍රේෂණ නළ මාර්ග පද්ධතියකින්, කි.මි 158කින් සමන්විත බෙදාහැරීම් ජල නළ පද්ධතියකින් සමන්විතය.

මෙහිදි අදහස් දැක්වූ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ,
“අද ජනාධිපතිතුමාගේ අතින් විවෘත වූ මේ තඹුත්තේගම ජල ව්‍යාපෘතියෙන් පවුල් ඒකක 25000කට පානීය ජලය සැපයීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 32ක් වැය වී තිබෙනවා. චීන සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කළ මේ ව්‍යාපෘතිය පසුගිය කාලයේ ආර්ථික අර්බුදය නිසා ගැටලු රැසක් ඇතිවී ඉදිකිරීම් අතරමග නැවතුන ව්‍යාපෘතියක්. අපි පසුගිය වසර දෙකේම අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණා. ගොවින් ඊට විරුද්ධව උද්ඝෝෂණය කළා. නමුත් අද මේ ව්‍යාපෘතිය විවෘත වන්නේ රාජාංගනය ගොවි නායකයන්ගේ ආශිර්වාදයත් සමඟයි. අද ඔවුන් මෙතනට සහභාගි වී සිටිනවා. ඔවුන් තමන්ගේ ඉල්ලීම් අපට ඉදිරිපත් කළා. අපි ඒවා ඉටු කරන්න සූදානම්.
එකක් තමයි මේ ව්‍යාපෘතියට ජලය ලබා ගැනීම නිසා රාජාංගනයේ ගොවියෝ කිසිවෙකුට ජල හිඟයක් ඇතිවෙන්න ඉඩ තියන්න එපා කියන එක. ස්ථිරවම කියනවා එක බිංදුවක්වත් ඒ ගැන සැකයක් තියාගන්න එපා. ගොවි ජනතාවට ජලය නොදී කෘෂිකර්මාන්තයට ජලය නොදී පානීය ජලය සඳහා පමණක් ජලය ලබා ගැනීම සිදු වන්නේ නැහැ. අපි මේ ජලය සම්පාදනය කරන්නෙත් ගොවි පවුල්වලට.”

