පුපුරණ ද්‍රව්‍ය සිද්ධිය – ගෆූර් මාමාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධව ගොනුකර තිබූ නඩුවේ තුන්වන විත්තිකරු වන මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් “ගෆූර් මාමා” නමැත්තාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද (28) දින නියම කර ඇත.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ විත්තිකරු තමන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පහකට වරද පිළිගැනීමෙන් අනතුරුව වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත.

ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එක් එක් චෝදනාවට වසර 12 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

ඒ අනුව එම දඬුවම් එකවර ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට නියෝග කිරීම හේතුවෙන් ඔහුට ගෙවීමට සිදුවන සමස්ත සිරදඬුවම් කාලය වසර 12කි.

මේ වනවිට විත්තිකරු රක්ෂිත බන්ධනාගාරයේ සහ රැඳවුම් නියෝග යටතේ ගත කර ඇති වසර හතහමාරක කාලය එම සිරදඬුවම් කාලයෙන් අඩු කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

ඒ අනුව, තවත් වසර හතරහමාරක පමණ කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇතැයි අධිකරණයේදී සඳහන් විය.

මෙම විත්තිකරු වරද පිළිගෙන නඩු විභාගය තවදුරටත් දීර්ඝ නොකිරීම, ඔහු 63 හැවිරිදි වියේ පසුවීම සහ අනෙකුත් සුවිශේෂී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම නියම කළ බව විනිසුරු මඩුල්ල සඳහන් කරයි.

මේ අතර මෙම නඩුවේ හයවන විත්තිකරු වන මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත් හෙවත් ‘සාජිත් මවුලවී’ නමැත්තා ද තමන්ට එරෙහි චෝදනා වලට වරද පිළිගැනීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම් දීමට කාලය ඉල්ලා ඇත.

ඒ අනුව ඔහුගේ ස්ථාවරය දැනගැනීම සඳහා නඩුව හෙට (29) පෙරවරු 8.00ට යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල, එදින පෙරවරු 7.45 වනවිට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel