By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා පොලිසියේ පිරිමි හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු අනුමත ප්‍රමාණයට වඩා 50%කට ආසන්න සංඛ්‍යාවක් පුරප්පාඩුව තිබෙන බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලයෙන් කර තිබෙන පරීක්ෂණයකදී හෙළි වී ඇත.
පිරිමි පොලිස් කොස්තාපල් තනතුරු 60,000ක් සහ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු 10,000ක් අනුමත වී ඇතත් 2023 වර්ෂය වනවිට සිටියේ පිරිමි පොලිස් කොස්තාපල්වරුන් 30,909ක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 5,980ක් පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එම තොරතුරු අනුව පිරිමි පොලිස් කොස්තාපල්වරුන් 29,091ක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 4,020ක පුරප්පාඩු තිබෙන බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අනුමත සංඛ්‍යාව නොසලකා 2019 සහ 2020 වසර වලදී උසස් වීම් සදහා අනුමැතිය ලබාදීම හේතුවෙන් පිරිමි පොලිස් සැරයන් 10,900ක හා කාන්තා පොලිස් සැරයන් 645ක අතිරික්තයක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.
2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනත අනුව 2023 වර්ෂය දක්වා ශ්‍රී ලංකා පොලිසියේ කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන මහ ලේකම් කාර්යාලයෙන් කරන ලද විගණනයට අදාළව මේ බව සදහන් කරයි.