2012 – 2013 කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක්කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වු අතර එම යානා අතරින් A 330 යානා 6ක් සහ A 350 යානා 4ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇත.
ඒ අනුව 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයක තොරතුරු හෙලිවීමත් සමග මෙම ගනුදෙනුවේ බරපතල වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය විය.
එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුව සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක අල්ලසක් ලබාදීමට පොරොන්දු වී තිබූ බව මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට මෙම මුදලින් ඩොලර් මිලියන 2ක් බැර කර ඇති බව එහිදී හෙළිවිය.
පසුව මෙරට සිදුකල විමර්ශන වාර්තාවක් මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
එම වාර්තාවට අනුව බිරිදට අයත් සමාගමේ නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිණුමක් මගින් කපිල චන්ද්‍රසේන අවස්ථා කිහිපයකදී ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිණුමකට මාරුකර යවා ඇත.
තවදුරටත් විමර්ශන සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙරට ගිණුම් දෙකකටද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරුවී ඇතැයි අනාවරණය වු අතර එම ගිණුම් දෙක අතර ශමින්ද්‍ර රාජපක්ෂට අයත් බැංකු ගිණුමකට 2013 වසරේදී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂය හැට දහසක මුදලක් බැරවී ඇත.
අනතුරුව මේ සම්බන්ධයෙන් ශමින්ද්‍ර රාජපක්ෂගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළද ඔහු ඇමරිකාවේ වාසය කරන බැවින් එය සාර්ථක නොවීය. පසුව හිටපු කථානායක චමල් රාජක්ෂගෙන් මීට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම එයාර් බස් ගනුදෙනුව පිළිබඳ තීරණ ගැනීමේදී අදාළ අධ්යක්ෂ මණ්ඩලයේ ශමීන්ද්‍ර රාජපක්ෂ සිටි බවත් ඊට අදාළ රැස්වීම කථානායක නිල නිවසේදී පවත්වා ඇති බවත් විමර්ශන වලදී හෙලිවී ඇත.

