Local news

පාර්ලිමේන්තු සේවිකාවන්ට හිරිහැර සහ සිදුව ඇති බව තහවුරු වෙයි.!

පාර්ලිමේන්තු සේවිකාවන්ට හිරිහැර සහ සිදුව ඇති බව තහවුරු වෙයි.!

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව විසින් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසුණු හිරිහැර සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන තුළින් එහි නිලධාරීනියකට විවිධ අසාධාරණකම් සහ වෙනස් කොට සැලකීම් සිදු වී ඇති බව තහවුරු කර ඇති බවයි.

ඊයේ (24) හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් මෙම කමිටුවේ වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට බාර දෙනු ලැබීය.

කතානායකවරයා විසින් මෙම බාහිර විමර්ශන කමිටුව පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අභ්‍යන්තර කමිටු දෙකක් මීට පෙර පත් කෙරුණද පැමිණිලිකාර නිලධාරිනිය එම කමිටු දෙකේම නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බාහිර විමර්ශන කමිටුව මෙසේ පත් කෙරිණ.

මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවූ ලිංගික හිරිහැර සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් පාර්ලිමේන්තු පාලනාධිකාරිය විසින් මීට පෙර සේවයෙන් නෙරපා හරිනු ලැබූහ.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි සෙබළියන් දෙදෙනෙකු අත්අඩංගුවට.!

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි සෙබළියන් දෙදෙනෙකු අත්අඩංගුවට.!

ඊයේ (24) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත බංකරයක සිරකර තබා අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික සෙබළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හපුතලය සහ හලාවත ප්‍රදේශවල පදිංචි 41 සහ 44 වයස් වල පසු වන හිටපු නාවික හමුදා සුළු නිලධාරිනියන් දෙදෙනෙක් මෙලෙස මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ආංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අනුවවයි.

2010 වසරේ ජූලි මාසයේ දිනක එම පුද්ගලයා පැහැරගෙන ගොස් තිරිකුණාමලයය නාවික කඳවුරේ භූගත සිර මැදිරියක රඳවා තබා අතූරුදන් කර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට කැඳවයි.!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට කැඳවයි.!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. ඒ එම කොමිසමේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට එම කොමිසමෙන් සිදුකළ දැනුම්දීමක් අනුවයි.

26 හැවිරිදි කතකට ලිංගික අතවර කළ 40 හැවිරිදි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට.!

26 හැවිරිදි කතකට ලිංගික අතවර කළ 40 හැවිරිදි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට.!

කහතුඩුව පොලිසිය පවසන්නේ කහතුඩුව, වෑතර දිසා රෝහල තුළදී 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් 40 හැවිරිදි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍යවරයෙකි.

පැමිණිලිකාර කාන්තාව ඇයට වැළඳී තිබූ රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉකුත් 12 වන දින කහතුඩුව වෑතර දිසා රෝහල වෙත පැමිණ ඇති අතර, එදින වෛද්‍යවරයෙකුගෙන් ලද උපදෙස් අනුව මුත්‍රා සාම්පලයක් පරික්ෂා කරගෙන යලි 19 වන දින ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, 19 වන දින ඇය රෝහලට පැමිණි අවස්ථාවේදී බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරියක් සිට ඇති අතර, ඇය විසින් පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දී ඇති බවයි.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පෙර උපදෙස් ලබා දී තිබූ සැකකාර වෛද්‍යවරයා අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පසෙකලා පැමිණිලිකාරිය සන්තකයේ තිබූ වෛද්‍ය වාර්තා රැගෙන පරීක්ෂා කර තිබේ. ඉන් අනතුරුව, පැමිණිලිකාරිය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා කාන්තා නිලධාරිනියක් නොමැති කාමරයක් තුළට රැගෙන ගොස් පරීක්ෂා කළ බවත්, එහිදී ඔහු විසින් ඇයට කරදර කළ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

පැමිණිලිකාර කාන්තාවට අධිකරණ වෛද්‍ය පෝරම ලබාදීමෙන් පසු අද (24) දෙපාර්ශවයම කැඳවා විමර්ශනය කළ බවද පොලිසිය සඳහන් කරයි. ඒ අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබූ අතර, සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කහතුඩුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අමෙරිකානු ජනපතිට චීනයෙන් ඇරයුම්.!

අමෙරිකානු ජනපතිට චීනයෙන් ඇරයුම්.!

ලබන වසරේ නිල සංචාරයක් සදහා චීනයට පැමිණෙන්නැයි, චීන ජනාධිපතිවරයා කළ ආරාධනාවක් තමන් පිළිගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් සමඟ ඊයේ (24) දින පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

රාජ්‍ය නායකයින් දෙදෙනා පැයක පමණ කාලයක්, රුසියානු – යුක්‍රේන යුද්ධය, මත්ද්‍රව්‍ය මෙහෙයුම් හා දෙරට අතර අඛණ්ඩ සන්නිවේදන සබදතා පවත්වාගැනීමේ ඇති අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කළ බව ධවල මන්දිරය නිවේදනය කරයි.

පුරාවිද්‍යා නාමපුවරු ගැලවු සභාපති බයේ සැඟවෙයි.. අයෙක් අත්අඩංගුවට.!

පුරාවිද්‍යා නාමපුවරු ගැලවු සභාපති බයේ සැඟවෙයි.. අයෙක් අත්අඩංගුවට.!

මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවෙකු මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිද්ධියට සම්බන්ධ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන සිදුකරමින් පවතී.

ඊළඟ රැළිය තමන්ගේ පාළාතට දෙන්න කියලා රට වටෙන්ම ඉල්ලීම් එනවා.!

ඊළඟ රැළිය තමන්ගේ පාළාතට දෙන්න කියලා රට වටෙන්ම ඉල්ලීම් එනවා.!

නුගේගොඩ රැළිය මහා ගිනි ජාලාවක් බවට පත්වෙලා බවත් ඊළඟ රැළිය තමන්ගේ පාළාතට දෙන්න කියලා රට වටෙන්ම ඉල්ලීම් එන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල සඳහන් කරයි.

උදය ගම්මන්පිල සඳහන් කළේ,

“අපි (21) වැනිදා නුගේගොඩින් ඇති කළ මේ ආණ්ඩු විරෝධයේ ගිණි සිසිල මහා ගිණි ජාලාවක් බවට පත්වෙලා මේ මව්බිමේ සතුරන් රාජ්‍ය පාලනයෙන් පලා යන තුරුම රට පුරා සිසාරා යනව කියන විශ්වාසය අපිට අද ඇතිවෙලා තියෙනවා.

රට පුරාම ඉල්ලීම් තියනවා ඊළග රැළිය තමන්ගේ දිස්ත්‍රික්කයට, තමන්ගේ පළාතට දෙන්න කියලා. ජනවාරි මාසේ අපි දෙවනි රැළිය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.”

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මේ බව සඳහන් කරයි.

කෝටි 25ක කොකේන් සමග මැලේ ජාතිකයෙකු අල්ලයි.!

කෝටි 25ක කොකේන් සමග මැලේ ජාතිකයෙකු අල්ලයි.!

කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් රුපියල් මිලියන 250 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන දිවයිනට පැමිණි විදේශීය ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

අබුඩාබි සිට පැමිණි මැලේ ජාතිකයෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බව රේගුව සඳහන් කළේය.

ඔහු සතුව තිබී සොයාගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 05 කට අධික වන බව වාර්තා වේ.

මෙම පුද්ගලයා විසින් මත්ද්‍රව්‍ය තොගය කරල් ලෙස සකසා, සිය අත් බෑගයේ තිබූ චොකලට් අඩංගු ටින් තුළ සඟවා රැගෙන විත් තිබේ.

ත්‍රිකුණාමලය සිද්ධියට බලංගොඩ කස්සප හිමියන්ට නොතීසි.!

ත්‍රිකුණාමලය සිද්ධියට බලංගොඩ කස්සප හිමියන්ට නොතීසි.!

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කර තිබේ.

ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදීම උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කිරීම මෙයට හේතුවයි.

ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජි.එස්.කේ.සමරසිංහ මහතා විසින් අධිකරණයට බී-වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, ඉකුත් 16 වන දින ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් වෛද්‍ය අනුමැතිය මත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 184 වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස මෙය සැලකෙන බවද පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

රටේ සංහිඳියාව බිඳ වැටිය හැකි සිදුවීමක් වන මෙම සිදුවීමේ විමර්ශනවලට සහාය නොදක්වන හිමිනමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කරන ලෙස අදාළ බී-වාර්තාවෙන් පොලිසිය ඉල්ලා සිටියේය. විමර්ශන වලට අදාලව සහාය දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් බවද එහිදී අවධාරණය විය.

තවද, දැනට උන්වහන්සේ වැඩ වාසය කරන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බැවින්, වැඩ වාසය කරන ස්ථානය සොයා ගැනීමටත්, ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය තහවුරු කර ගැනීම සඳහාත්, උන්වහන්සේ භාවිතා කරන ජංගම දුරකථන අංකයට අදාල දුරකථන සමාගමේ කළමනාකරුට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

රණවිරු දෙමාපියන්ට ලබාදෙන දීමනාව අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයි.!

රණවිරු දෙමාපියන්ට ලබාදෙන දීමනාව අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයි.!

මාතෘ භූමියේ සාමය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිත පූජා කළ අභීතරණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත “මා පිය රැකවරණ දීමනාව” ලබාදීම රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශයේ මැදිහත්වීමෙන් අඛණ්ඩව සිදුකරනු ලබයි.

එම දීමනාව අත්හිටුවා ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් මේ වන විට ඇතැම් පුවත්පත්, රූපවාහිනී නාලිකා හා සමාජ මාධ්‍ය තුල ප්‍රචාරණය වන අතර, එම තොරතුර සම්පුර්ණයෙන් සාවද්‍ය බවත් එම දීමනාව අත්හිටු වීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (24) දින පාර්ලිමේන්තු සභා වාරය අමතමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය. මෙම දීමනාව යටතේ සුදුසුකම්ලත් දෙමාපියන්ට, එක් අයෙකුට රු. 750.00 බැගින් වූ මාසික දීමනාවක් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

මේ සඳහා දීමනාව ලබාගන්නා දෙමාපියන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම සඳහා, වසරකට දෙවරක් අදාළ ජීව දත්ත සහතිකය (Life Certificate) අනිවාර්යයෙන්ම රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු අතර, මෙම සහතිකය එම දෙමව්පියන් පදිංචි ග්‍රාම සේවා වසමේ ග්‍රාම සේවා නිලධාරී විසින් සහතික කර රණවිරු සේවා අධිකාරිය වෙත යොමු කළ යුතුය.

දැනට 32867 ක් වූ සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් අතරින් මෙම වසරේ පළමු අඩවසර වෙනුවෙන් ආසන්න වශයෙන් ප්‍රතිලාභීන් 17636 දෙනෙකුගේ ජීව දත්ත සහතිකය රණවිරු සේවා අධිකාරිය වෙත නිසි පරිදි ලබාදී ඇති අතර, මෙම වසරේ ජුලි මාසයෙන් ඇරඹි දෙවන අඩවසර සඳහා සහතිකපත් 4727 ක් පමණක් මේ දක්වා ඉදිරිපත් වී තිබීම හේතුවෙන් ඉතිරි ප්‍රතිලාභීන්ගේ ජීවත්වීම තහවුරු නොවීම නිසා මෙම මාසික දීමනා ගෙවීමට නොහැකි වී ඇත.

යම් හෙයකින් ප්‍රතිලාභියෙකු මරණයට පත් වුවහොත් ඒ පිළිබඳව රණවිරු සේවා අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස සහ මරණ සහතික ඉදිරිපත් කිරීමට ඥාතීන් වෙත පොදු උපදෙස් ලබා දී ඇති නමුත්, ඒ පිළිබඳව ඥාතීන් දක්වන උනන්දුව ඉතාම අල්ප බැවින් අදාළ ප්‍රතිලාභීන් මියගිය බව දැන ගැනීමට නොහැකි වීමෙන් මෙම දීමනාව ගෙවීමේදී බොහෝ ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ.

මෙම දීමනා වෙනත් අයවළුන්ට ලබාගත නොහැකි අතර, කිසියම් මියගිය පුද්ගලයෙකු වෙත මුදල් බැරවීමක් සිදු වුවහොත් එය රාජ්‍ය විගණනයකදී, රාජ්‍ය මුදල් අවභාවිතාවක් ලෙස නිරීක්ෂණය වීමෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. එබැවින් මේ සම්බන්ධව රණවිරු සේවා අධිකාරිය දැනුවත් කිරීමටත්, මරණ සහතික ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමෙන් සහාය දක්වන ලෙසත්, එම දෙමාපියන්ගේ ළඟම ඥාතීන් වෙත දැනුම් දී සිටී.

මීට අමතරව, රණවිරු සේවා අධිකාරිය මඟින් දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණයෙන්, එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අයත් බල ප්‍රදේශ තුළ පදිංචි සියලුම ප්‍රතිලාභීන්ගේ විස්තර ඉදිරිපත් කොට, ඔවුන් දැනුවත් කිරීමට සහ ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් හැකි කඩිනමින් ඔවුන්ගේ ජීව දත්ත සහතික ලබාදීමේ වැඩ පිළිවෙලක් සකස්කර දෙන මෙන් ඉල්ලීමක් ද කර තිබෙන අතර, මේ වන විට එයටද යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන් මාර්ගයෙන් හා දිවයින පුරා විහිදි රණවිරු සංසද 264ක් මාර්ගයෙන්ද ප්‍රතිලාභීන් දැනුවත් කොට ඇත.

තවද, මෙතෙක් ජීව දත්ත සහතිකය ලබා නොදුන් රණවිරු දෙමාපියන් කඩිනමින් ඔබ පදිංචි ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී වෙතින් ජීව දත්ත සහතිකය ලබාගෙන සම්පුර්ණ කොට රණවිරු සේවා අධිකාරිය වෙත ලබාදීමෙන් තම දීමනා ලබා ගැනීමේ නෛතික අයිතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත්, ප්‍රතිලාභී රණවිරු දෙමව්පියන් වෙත දැනුම් දෙනු ලබයි.

Follow WhatsApp Channel