Attention (Sinhala)

මෝදි රනිල් සජිත් මහින්ද සහ ෆොන්සේකා වෙත තුති පුදකරයි.!

ඉන්දීය නව ජනාධිපති නරේන්ද්‍ර මෝදි සිය මැතිවරණ ජයග්‍රහණයෙන් පසු X සටහනක් නිකුත්කරමින් තමාගේ ජයග්‍රහණයෙන් පසු සුභ පැතුම් එක්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට ස්තූතිය පුද කර ඇත.

එතුමා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ ශ්‍රි ලංකාව සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නරේන්ද්‍ර මෝදි වෙත සුභපැතුම් එක් කරමින් සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රි ලංකාව ඉන්දියාව සමඟ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරිමට අපේක්ෂා කරන බව පවසා තිබුනි.

ඇෆ්ගනුවෝ උගන්ඩාවෝ පොළොවේ ගසයි.!

ප්‍රොවිඩස් හිදී උගන්ඩා කන්ඩායම ලකුණු 125කින් පරාජය කළ ඇෆ්ගනිස්තාන කඩායම T20 ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වැනි විශාලතම ජයග්‍රහණය වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරුවන් වන ඊබ්‍රාහිම් සද්‍රාන් (පන්දු 46 කදී ලකුණු 70) සහ රහ්මානුල්ලා ගුර්බාස් (පන්දු 45 කදී ලකුණු 76) ලබාගනිමින් ලකුණු 154 ක සම්බන්ධතාවක් ගොඩනඟා ගත් අතර එය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි විශාලතම ආරම්භක කඩුලු සබඳතාවයයි.

ඕවර 14ක් අවසානයේ ඇෆ්ගනිස්තානය ලකුණු 152/0ක් ලෙසින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කරමින් සිටියේය. නමුත් සද්‍රාන් සහ ගුර්බාස් දැවී යාමත් සමඟ වේගය තරමක් මන්දගාමී කළ ඇෆ්ගන් කණ්ඩායම අවසන් ඕවර පහේදී රැස් කළේ ලකුණු 27ක් පමණක් වන අතර අවසන් ඕවර හයේ දී එකදු හතරේ පහරක් හෝ එල්ල නොකළහ.

සී කාණ්ඩයේ තරගයේදී ඇෆ්ගනිස්තානය ලබාගත් 183/5ට පිළිතුරු ලෙස T20 ලෝක කුසලානයේ මංගල ක්‍රීඩකයන් වන උගන්ඩාවට රැස් කරගත හැකිවූයේ ලකුණු 58ක් පමණි.

කැරිබියන් දූපත් හි ඊයේ දිනයේ පැවති තරඟයේදී, උගන්ඩාවේ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් ඉලක්කම් ද්විත්වයක ලකුණු ලබාගැනීමට සමත්විය. ඒ රොබින්සන් ඔබුයා (14) සහ රියාසාත් අලි ෂා (11).

විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණ 03 ලෙස ශ්‍රී ලංකාව ලකුණු 172කින් කෙන්යාව පරාජය කිරීම, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය ලකුණු 130කින් ස්කොට්ලන්තය පරාජය කිරීම සැළකේ.

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර අද (3) පැවති තරඟයේදී කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 1ක් අවසානයෙස් සියළුදෙනා දැවී ලකුණු 77ක් රැස් කරගැනීමට සමත්විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලැබීය.

ඉන්දීය මහ මැතිවරණය අතරතුර මැතිවරණ නිලධාරීන් 33ක් ජීවිතක්ෂයට.!

ඉන්දීය මහ මැතිවරණය ඊයේ (2) අවසන් වූ අතර එම මැතිවරණය දින 44 ක් පුරාවට, අදියර 7 ක් යටතේ ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඔස්සේ පැවැත්වූ අතර, මැතිවරණ නිලධාරීහු මිලියන 15 ක් මැතිවරණ රාජකාරිවල නිරතව සිටියහ.

ඉන්දීය මාධ්‍ය විසින් සඳහන් කරනා ආකාරයට එරට මහ මැතිවරණය නිමාවට පත් වෙද්දී, ඡන්ද මධ්‍යස්ථානවල, මැතිවරණ රාජකාරිවල යෙදී සිටි මැතිවරණ නිලධාරීන් තිස් තුන් දෙනකු උෂ්ණත්වය දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වනවිට, ඉන්දියාවේ උතුරු සහ මධ්‍ය ප්‍රාන්ත‍යේ දැඩි උණුසුම් කාලගුණයක් පවතිනා අතර ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 පසු කර ඇති බව සඳහන්.

ඉන්දීය රජය විසින් එසේ මියගිය සෑම නිලධාරියකු වෙනුවෙන්ම ඉන්දීය රුපියල් මිලියන 1.5 ක වන්දි මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව පැවසේ.

උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වනවිට එරට පුරා මියගිය සමස්ත ඉන්දියානුවන් ගණන 58 ක් බව වාර්තා වේ. එම මරණ වාර්තා වී ඇත්තේ උත්තර ප්‍රදේශ්, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, ඔඩිස්ෂා යන ප්‍රාන්තවලිනි.

කඩුවෙලත් යටවෙයි.. අදිවේගය වසා දමයි.!

මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටියේ මේ වනවිට කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව මුළුමනින්ම ජලයෙන් යටවීමෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය වසා දැමීමට සිදුවූ බවයි.

එම අධිකාරිය ජනතාවට දන්වා සිටින්නේ කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ කඩවත දෙසට ඇතුළුවන වාහන සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරනා ලෙසයි.

ගාසා තීරයේ සටන් විරාමයකට ඇමරිකාව දැඩිව මැදිහත් වේ.. යෝජනා සාර්ථක වන ලකුණු.!

ගාසා තීරයේ ගැටුම අවසන් කිරීම සඳහා ඊශ්‍රායල යෝජනාවන් පිළිගන්නා ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටී.

කොටස් තුනකින් යුත් යෝජනාව ආරම්භ වන්නේ සති හයක සටන් විරාමයක් සමඟින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවත් කිරීමෙනි.

මෙහිදී මානුෂීය ආධාර වැඩිකිරීම මෙන්ම පලස්තීන සිරකරුවන් සඳහා ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමක් ද සිදු කිරීමට යෝජනා වී ඇත.

යෝජනාවට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය කියා සිටියේ මෙම යෝජනාව “සාධනීය” ලෙස සලකන බවයි.

පසුගිය සිකුරාදා ධවල මන්දිරයේදී අදහස් දක්වමින් Biden මහතා පැවසුවේ යෝජිත සැලැස්මේ පළමු අදියරට “පූර්ණ සහ සම්පූර්ණ සටන් විරාමයක්”, IDF හමුදා ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවත් කර ගැනීම සහ පලස්තීන සිරකරුවන් සඳහා ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීම ඇතුළත් වන බවයි.

දෙවන අදියරේදී සොල්දාදුවන් ඇතුළුව ඉතිරිව සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු කැඳවීමට නියමිතයි.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් විසින්ද මෙම යෝජනාවට එකඟ වන ලෙස හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටි අතර, ඔහු X හි සටහනක් තබමින් ප්‍රකාශ කළේ “මෙම ගිවිසුම පිළිගත යුතු අතර එවිට අපට සටනේ නැවතීමක් දැකිය හැකි” බවයි.

“අපි සියලු දෙනාම නිවැරදි පියවර ගැනීමට සූදානම් නම්, සටන් නතර කිරීම ස්ථිර සාමයක් බවට පත් කළ හැකි බව අපි විශ්වාස කරමු,” කැමරන් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුට X වෙත සටහනක් තබමින් මෙම ගිවිසුම පිළිගෙන ඇත. “ලෝකය ගාසා තීරයේ ඇති තරමට දුක් වේදනා සහ විනාශය දැක ඇති අතර දැන් එය නැවතීමට කාලයයි, මම ජනාධිපති Biden ගේ මුලපිරීම සාදරයෙන් පිළිගනිමි. සටන් විරාමයක් හරහා, සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, බාධාවකින් තොරව මානුෂීය ප්‍රවේශය සහතික කිරීම අවසානයේ මැද පෙරදිග ස්ථිර කාලීන සාමයක් ඇති කිරීමට සියලු පාර්ශවයන් දිරිමත් කළ යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.


යෝජනාවේ තුන්වන අදියරේදී මියගිය සෑම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙකුගේ දේහය නැවත ගෙන්වාගැනීමට හැකි ඇති අතර, නිවාස, පාසල් සහ රෝහල් නැවත ගොඩනැගීම සඳහා එක්සත් ජනපද සහ ජාත්‍යන්තර සහාය ඇතිව “ප්‍රධාන ප්‍රතිසංස්කරණ සැලැස්මක්” ද අන්තර්ගත වේ….

Jun 7, 2024 @ 10:23 am

ගින්දර එක්ක සෙල්ලම නවත්වන්න.. බටහිරට පුටින්ගෙන් තගක්.!

රුසියාවට පහර දීම සඳහා යුක්‍රේනයට බටහිර මිසයිල ලබා නොදෙනා ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බටහිර බලවතුන්ට අනතුරු අඟවා තිබේ.

රුසියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා බටහිර අවි භාවිත කරන ලෙස යුරෝපයේ නේටෝ සාමාජිකයන් යුක්‍රේනයට යෝජනා කර ඇති බව ජනාධිපති පුටින් පවසයි

නේටෝ සාමාජිකයින් ගින්දර සමඟ සෙල්ලම් කිරීමට සූදානම් බවත් එසේ කළහොත් එය ගෝලීය ගැටුමකට හේතු වියහැකි බවත් ඔහු පැවසීය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ පුපුරා ගිය මාරාන්තික යුක්රේන-රුසියාව ගොඩබිම් යුද්ධයෙන් වසර දෙකකට වැඩි කාලයක් ගත වී ඇති අතර, යුක්රේනයේ රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමන කෙරෙහි බටහිර විශේෂ අවධානය යොමු කර ඇති බව යුද විශ්ලේෂකයන් පවසති..

එවන් පසුබිමක යුක්රේන යුද්ධයට බටහිර මැදිහත්වීම පුළුල් ගෝලීය ගැටුමක අවදානම වැඩි කරන බව ජනාධිපති පුටින් නැවත නැවතත් අවධාරණය කර ඇත.

එහෙත් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ද ඉකොනොමිස්ට් පුවත්පතට පැවසුවේ නේටෝ සාමාජිකයින් රුසියාවට පහර දීම සඳහා යුක්රේනයට ආයුධ ලබා දිය යුතු බවයි.

කිම් ජොන් අන්ගේ හිත රිද්දූ අසාර්ථක චන්ද්‍රිකාව.!

ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් රැගත් උතුරු කොරියානු රොකට්ටුවක් පසුගිය සඳුදා ගුවන්ගත කළ අතර, ගුවන්ගත වී ටික වේලාවකට පසු එය පුපුරා ගිය බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

එය උතුරු කොරියාවේ දෙවන ඔත්තු චන්ද්‍රිකාව වන අතර එම ව්‍යාතිය හරහා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට චන්ද්‍රිකා කිහිපයක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව ගුවන් ගතවී සුළු වේලාවකින් විනාශ වීම උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බලාපොරොත්තු බිඳවැටීමක් ලෙස විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

වසර හතරකට වැඩි කාලයකට පසු පළමු ත්‍රෛපාර්ශ්වික රැස්වීම සඳහා දකුණු කොරියාව, චීනය සහ ජපානය යන රටවල නායකයින් සෝල් නුවරදී හමුවී පැය කිහිපයකට පසුව මෙම අසාර්ථක ගුවන්ගත කිරීම සිදුව ඇති බව පැවසේ.

උතුරු කොරියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුව චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව පියාසර කිරීමේදී එන්ජිමේ හටගත් දෝෂයක් නිසා ගුවන්ගත වී සුළු වේලාවකින් පුපුරා ගිය බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

නිරුවතින් විවාහ වෙන්න කැමති අයට අවස්ථාවක්.!

ඉතාලිය රජය විසින් මංගල උත්සවවලදී නිරුවත් වීමේ අයිතිය නීත්‍යානුකූල කර ඇති බව වාර්තා වේ.

ඉතාලියේ සොඩීනියාවේ නිරිතදිග වෙරළ තීරයේ නම් කරන ලද ප්‍රදේශයක නිරුවත් විවාහ සඳහා මෙසේ අවසර හිමිවී ඇත.

සැතපුම් හතරක් දිග වෙරළ තීරය වසර ගණනාවක් තිස්සේ ජනප්‍රිය නිරුවත් ස්ථානයක් බව සැන් වෙරෝ මිල්ස් නගරාධිපති ලුයිගි ටෙඩෙස්චි විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

එම අවසරය තුලින් නිරුවතින් විවාහ වීමට ලොව ප්‍රිය කරනා ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස වෙරළ තීරය යොදා ගැනීමට ඉතාලි රජය බලාපොරොත්තු වන බව නගරාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.

පැපුවා නිව්ගිනියාවේ නායායෑම හේතුවෙන් සිදුවූ මරණ 300 සිට 670 දක්වා ඉහළට.!

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ දැවැන්ත නායායෑමෙන් පුද්ගලයන් 670 දෙනෙකු මිය ගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කර ඇති බව සඳහන්.

පසුගියදා මෙම නායායෑම සිදුවීමෙන් අනතුරුව එරට රජය නිවේදනය කළේ ඉන් මරණ 300ක් පමණ සිදුව ඇති බවට වූවත් මේ වනවිට අනාවරණය වී ඇති දත්තයන්ට අනුව මියගිය පිරිස 670ක් පමණ වෙතැයි පැවසේ.

පසුගිය සිකුරාදා සිදුවූ එම මහා ඛේදජනක සිදුවීමෙන් විශාල පිරිසක් සහ නිවාස දේපොල රැසක් පස් වලින් යටව ගොස් ඇති අතර විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ නිවාස 150කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පස් තට්ටුවකින් යටවී ඇති බවයි.

එම ස්ථානයේ තවදුරටත් විශේෂ සහන මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, අදාළ ස්ථානය විමර්ශනය කිරීමට ගොස් ඇති එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් පවසා ඇත්තේ පුද්ගලයන් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට මේ වනවිට ගණන් බලා ඇති බවයි.