Foreign news (Sinhala)

යුක්‍රේනය දැවැන්ත ප්‍රහාරයකට සුදානම්.!

බෙල්ජියම අගමැති Alexander De Croo යුක්‍රේනය සදහා F-16 ප්‍රහාරක ජෙට් යානා 30ක් සහ යුරෝ බිලියන 1කට ආසන්න මිලිටරි ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskiy  සහ බෙල්ජියම් අගමැති Alexander De Croo F-16 ප්‍රහාරක ජෙට් යානා 30ක් බෙදා හැරීම ඇතුළු ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළඹී ඇත.

මෙම වසරේදී යුක්‍රේනයට බෙල්ජියම් මිලිටරි ආධාර වශයෙන් යුරෝ මිලියන 977ක් ලබාදීමටත් F-16 ප්‍රහාරක ජෙට් යානාවල ප්‍රථම සැපයුම හැකි ඉක්මනින් ලබාදීමට තීරණය කර ඇත.

රුසියාව ආක්‍රමණයෙන් මාස 27කට වැඩි කාලයකට පසුව වඩාත් මිනිස් බලය සහ උපකරණ යුද පෙරමුණට යොදවන බව Kyiv හි ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කරයි.

කිම් ජොන් අන්ගේ හිත රිද්දූ අසාර්ථක චන්ද්‍රිකාව.!

ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් රැගත් උතුරු කොරියානු රොකට්ටුවක් පසුගිය සඳුදා ගුවන්ගත කළ අතර, ගුවන්ගත වී ටික වේලාවකට පසු එය පුපුරා ගිය බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

එය උතුරු කොරියාවේ දෙවන ඔත්තු චන්ද්‍රිකාව වන අතර එම ව්‍යාතිය හරහා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට චන්ද්‍රිකා කිහිපයක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව ගුවන් ගතවී සුළු වේලාවකින් විනාශ වීම උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බලාපොරොත්තු බිඳවැටීමක් ලෙස විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

වසර හතරකට වැඩි කාලයකට පසු පළමු ත්‍රෛපාර්ශ්වික රැස්වීම සඳහා දකුණු කොරියාව, චීනය සහ ජපානය යන රටවල නායකයින් සෝල් නුවරදී හමුවී පැය කිහිපයකට පසුව මෙම අසාර්ථක ගුවන්ගත කිරීම සිදුව ඇති බව පැවසේ.

උතුරු කොරියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුව චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව පියාසර කිරීමේදී එන්ජිමේ හටගත් දෝෂයක් නිසා ගුවන්ගත වී සුළු වේලාවකින් පුපුරා ගිය බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

නිරුවතින් විවාහ වෙන්න කැමති අයට අවස්ථාවක්.!

ඉතාලිය රජය විසින් මංගල උත්සවවලදී නිරුවත් වීමේ අයිතිය නීත්‍යානුකූල කර ඇති බව වාර්තා වේ.

ඉතාලියේ සොඩීනියාවේ නිරිතදිග වෙරළ තීරයේ නම් කරන ලද ප්‍රදේශයක නිරුවත් විවාහ සඳහා මෙසේ අවසර හිමිවී ඇත.

සැතපුම් හතරක් දිග වෙරළ තීරය වසර ගණනාවක් තිස්සේ ජනප්‍රිය නිරුවත් ස්ථානයක් බව සැන් වෙරෝ මිල්ස් නගරාධිපති ලුයිගි ටෙඩෙස්චි විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

එම අවසරය තුලින් නිරුවතින් විවාහ වීමට ලොව ප්‍රිය කරනා ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස වෙරළ තීරය යොදා ගැනීමට ඉතාලි රජය බලාපොරොත්තු වන බව නගරාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.

ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාරයක්.. ළමුන් ඇතුළු විශාල පිරිසක් මරුට.!

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රදේශයේ හමාස් ඉලක්කයක් වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇතත්, එම ප්‍රහාරයෙන් මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් ඊශ්‍රායල හමුදාව විසින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දකුණු ගාසා තීරයේ රෆා නගරයේ අවතැන් වූවන් සඳහා නම් කරන ලද ප්‍රදේශයකට බව හමාස් සංවිධානය සදහන් කරයි.

නිවැරදි අවි සහ නිරවද්‍ය බුද්ධි තොරතුරු මත ඊශ්‍රායල ගුවන් හමුදාව රෆාහි හමාස් සංවිධානයේ කඳවුරකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව තවදුරටත් සදහන් කරයි.

IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට.!

අද (26) දින පැවති 2024 IPL තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 113ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව ජයග්‍රහණය කිරීමට සමත් විය.

පැපුවා නිව්ගිනියාවේ නායායෑම හේතුවෙන් සිදුවූ මරණ 300 සිට 670 දක්වා ඉහළට.!

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ දැවැන්ත නායායෑමෙන් පුද්ගලයන් 670 දෙනෙකු මිය ගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කර ඇති බව සඳහන්.

පසුගියදා මෙම නායායෑම සිදුවීමෙන් අනතුරුව එරට රජය නිවේදනය කළේ ඉන් මරණ 300ක් පමණ සිදුව ඇති බවට වූවත් මේ වනවිට අනාවරණය වී ඇති දත්තයන්ට අනුව මියගිය පිරිස 670ක් පමණ වෙතැයි පැවසේ.

පසුගිය සිකුරාදා සිදුවූ එම මහා ඛේදජනක සිදුවීමෙන් විශාල පිරිසක් සහ නිවාස දේපොල රැසක් පස් වලින් යටව ගොස් ඇති අතර විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ නිවාස 150කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පස් තට්ටුවකින් යටවී ඇති බවයි.

එම ස්ථානයේ තවදුරටත් විශේෂ සහන මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, අදාළ ස්ථානය විමර්ශනය කිරීමට ගොස් ඇති එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් පවසා ඇත්තේ පුද්ගලයන් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට මේ වනවිට ගණන් බලා ඇති බවයි.

සමාජ මාධ්‍ය ගැන එලෝන් මස්ක් අනතුරු අඟවයි.!

Tesla සහ SpaceX හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් විසින් සමාජ මාධ්‍ය හරහා ළමයින්ට ඇති විය හැකි අයහපත් බලපෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

AI ඇල්ගොරිතම හරහා ළමයින්ට බලපෑම් කරන බැවින් ළමයින් සමාජ මාධ්‍යවලට නිරාවරණය වීම සීමා කරන ලෙස එලොන් මස්ක් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

එලොන් මස්ක් සිය X ගිණුමෙහි සටහනක් තබමින් කණගාටුව පළ කර ඇත.

” ඩොපමයින් උපරිම කරන AI මඟින් වැඩසටහන්ගත කර ඇති නිසා ළමයින්ට දැකිය හැකි සමාජ මාධ්‍ය ප්‍රමාණය සීමා කරන ලෙස මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. බොහෝ සමාජ මාධ්‍ය ළමයින්ට නරකයි.”

ඉන්දීය ළමා රෝහලක ගින්නක්.. අලුත උපන් බිළිඳුන් 6ක් ජීවිතක්ෂයට.!


ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ළමා රෝහලක ඊයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් අලුත උපන් බිළිඳුන් හය දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

අලුත උපන් බිළිඳුන් දොළොස් දෙනෙකු ගින්න අතරතුර මුදාගෙන ඇති නමුත් ගින්නෙන් බිලිඳුන් හය දෙනෙකු මිය ගිය බව දිල්ලි ගිනි නිවීමේ සේවා ප්‍රධානී අතුල් ගාර්ග් මාධ්‍ය වෙත පැවසීය.

බේරාගත් එක් බිළිඳෙකුගේ තත්ත්වය බරපතල වන අතර අනෙක් පස් දෙනා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. බේරාගත් ළදරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන්ගේ උප්පැන්න වාර්තා ගින්නෙන් විනාශ වී ඇති බව පැවසේ.

දිල්ලි ගිනි නිවන සේවා පැවසුවේ ඊයේ රාත්‍රී 11:32 ට ලැබුනු ඇමතුමක් අනුව ගිනි නිවන රථ 9ක් එම ස්ථානයට කඩිනමින් පිටත්කල බවයි.

තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ගින්න ඒ අසල තවත් ගොඩනැගිල්ලකට පැතිර ඇති බවත් මේ වනවිට එය පාලනය කර ඇති බවත් පැවසේ.

ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ගාර්ග් මහතා පැවසීය.

මෙවැනිම 2021වසරේ බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.

අවසන් මහා තරගය අදයි.!

2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) දින රාත්‍රී 7.30ට චෙන්නායි හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

අවසන් මහා තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත.

කොල්කටා කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරග 09ක් ජයගෙන ඇති අතර සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී තරග 08ක් ජයගෙන ඇත.

පහරදීම වහාම නවත්වන්න.. ඊශ්‍රායලයට නියෝගයක්.!

ජාත්‍යන්තර අධිකරණය විසින් දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ඊශ්‍රායලයට නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ගාසා තීරයේ රෆා නගරයේ ඊජිප්තු දේශසීමා පිවිසුම් මාර්ගය විවෘත කර ජීවිතාරක්ෂක ආධාර ගාසා තීරයට ඇතුල්වීමට ඉඩ සලසා දෙන ලෙසද ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත.

කෙසේ වෙතත් ඊශ්‍රායලය මෙම නියෝගයට අවනත වනු ඇතැයි අපේක්ෂා නොකරන අතර ජාත්‍යන්තර අධිකරණය ලබාදුන් මෙම නියෝගය ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්‍ යාහුගේ සමීපතමයන් දැඩිව විවේචනයට ලක් කර ඇත.

එම නියෝගය ප්‍රකාශයට පත් කළ 15 දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙබනන ජාතිකයෙකු බැවින් වැරදි නියෝගයක් ලබා දුන්නේ නම් ඔහුට ආරක්ෂිතව නැවත රටට යෑමට අවස්ථාවක් නොලැබීමට ඉඩ තිබූ බව ඊශ්‍රායල රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයකු ප්‍රකාශ කර ඇත.