By unusuma.lk on
(LK time)හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සතියේදී අධිචෝදනා ගොනුකරන බව නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් 2කින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මේ බව සඳහන් කළේය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරි ලයනල් ගුරුගේ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණ අතර යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.
මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල අවසන් කර වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.
ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සතියේදී නඩු පැවරීමට තීරණය කර ඇති බවත් එම නඩුව විභාග කිරීම සඳහා නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරිය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කරයි.
තවද මෙම පෙත්සමේ සඳහන් කර තිබෙන සෙසු ඖෂධ හා ආම්පන්න මිලදී ගැනීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් කොමිසම විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කරයි.